ව්‍යායාම කරන්න කෝ වෙලාවක්.....

අපි කලින් කතා කරා වැඩිහිටියෙකුට සතියකට විනාඩි 150 ත් 300 ත් අතර කාලයක් ව්‍යායාම් වල නිරත වීම අත්‍යවශ්‍ය බව. ඔබ දැඩි සවායු ව්‍යායාම් වල නියැලෙන්නේ නම් විනාඩි 75 ත් 150 ත් අතර කාලයක් ව්‍යායාම කිරීම සතියකට ප්‍රමාණවත්.

ඒත් මෙහෙම කිව්වහම අපිට ඒක තේරෙන්නේ නෑ නේද?
හරි අපි තේරෙන භාෂාවෙන් කතා කරමුකෝ.....
සවායු ව්‍යායාම කියන්නෙ අපේ හදවත ගැහෙන වේගය සහ හුස්මගන්න වේගය වැඩි කරන ව්‍යායාම.
අප ව්‍යායාම කරන තීව්‍රතාවය මත අප ව්‍යායාම සඳහා දක්වන වෙහෙස රඳා පවතිනවා. උදාහරණයක් ලෙස වේගයෙන් ඇවිදීමට වඩා දිවීමේ දී ඇතිවන මහන්සිය වැඩියි. නමුත් එහිදී අපගේ ව්‍යායාම ඉලක්කය අඩුකාලයකින් අපට ළඟාකර ගත හැකියි.


කෙසේවෙතත් එක්වරම දැඩි ව්‍යායාම වෙත යොමු වීම අපහසුයි. එමනිසා ක්‍රමානුකූලව ව්‍යායාමවල තීව්‍රතාව වැඩි කිරීම වැදගත්.
හරි එත් කොහොමද අපි මේ නිර්දේශ කරන ආකාරයටම දිනපතා ව්‍යයායාම කරන්නේ.....?


ව්‍යායාම කරන්න පටන් ගන්න පහසුම විදිය තමයි ඇවිදීම, හැබැයි මේ ඇවිදීම පැයට කිලෝමීටර් 5 ක වේගයෙන් වත් ඇවිදින ඇවිදීමක් විය යුතුයි. අපි දිනපතා වැඩට යද්දී විනාඩි 5ක් වත් පයින් යන්න පටන් ගමු. එතකොට අපේ සතියක ව්‍යායාම ඉලක්කයෙන් 17%ක් සම්පූර්ණ වෙනවා. 

හරි.... අපි වාහනේ පැත්තකට දාලා තව විනාඩි දහයක් කඩේට හරි, යාලුවෙක් ගෙදරට හරි යන ගමනක් පයින් යමු. ඒ ගිහින් එනකොට අපේ සතියකට target එකෙන් තවත්  13%ක් cover වෙලා.

අපි සතියට දවසක්වත් විනාඩි 30ක් විතර ගෙවත්තේ පොඩි වැඩක් කරමු. ඒක පොඩි වගාවක් කිරීම හරි, වත්ත පිටිය අතු ගෑමක් හරි, උදළු ගෑමක් හරි වෙන්න පුළුවන්. ඒ මගින් අපේ target එකෙන් තවත් 20% සම්පූර්ණ වෙනවා.


වේගයෙන් පඩිපෙලක් නැගීමත් දැඩි ව්‍යායාම ගණයට අයත් වන ව්‍යායාමයක්. දවසට විනාඩියක් පඩිපෙළක් නැගීම අපේ ඉලක්කයෙන් 9% cover කරන ව්‍යායාමයක්. වේගයෙන් බයිසිකල් පැදීම දැඩි ව්‍යායාමයක්. ඉතින් අපට පුළුවන් විනාඩි 10ක් බයිසිකල් පදින්න. එහෙම වුනොත් අපේ target එකෙන් 13% සම්පූර්ණ වෙනවා.

ඔබට හොඳට දඟලලා නටන්න පුළුවන්නම් නටනවා කියන්නේත් දැඩි ව්‍යායාමයක්. විනාඩි තිහක් හොඳට නටන්න, සතියක target එකෙන්  40% සම්පූර්ණයි.

දැන් ඔය ටික ගණන් හදලා බලන්නකෝ..... target එකෙන් සියයට 112 සම්පූර්ණයි.
මීට අමතරව තියට දින දෙකක් මස්පිඩු ශක්තිමත් කරන, වර්ධනය කරන ව්‍යායාම්වල යෙදීම වැදගත්. ඒ ව්‍යායාම උරහිස, අත්,බඩ, පපුව, කකුල් යන සියලුම අවයව වලට ව්‍යායාම වන ලෙස සිදු කළ යුතුයි.

මෙම ඉලක්කයන් පසු කරගෙන යාම ඔබගේ ශරීර සෞඛ්‍යය වඩාත් සෞඛ්‍ය සම්පන්න තත්වයකට පත් කරාවි.

No comments:

Post a Comment