COVID-19(SARS-CoV-2) පොඩි ළමයින්ට බලපාන්නෙම නැතිද?

අපි බොහෝ දෙනෙක් දන්නවා මේ වෛරසය වඩාත් දරුණු වෙන්නේ වැඩිහිටියන්ට කියලා. එතකොට මේ රෝගය දරුවන්ට බලපෑමක් ඇත්තෙම නැද්ද? දරුවන්ට ඒ රෝගය බලපාන්නෙ කොහොමද?

2020.01.16 - 2020.02.08 දක්වා චීනයේ wuhan ප්‍රාන්තයේ රෝගය වැළඳුණු දරුවන්   2143 ගැන වාර්තාවක් චීනයේ රෝග නිරෝධායන මධ්‍යස්ථානය (CCDC) මගින් එළිදැක්වූවා.උපතේ සිට වයස අවුරුදු 18 දක්වා දරුවන් එම වාර්තාවට ඇතුළත් වූවා. එයින් දරුවන් 731 පර්යේෂණාගාර වාර්තා අනුව COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඉතිරි දරුවන් සායනික ඉතිහාසය මත COVID -19 රෝගය වැළඳී ඇති ලෙස සලකා ප්‍රතිකාර කළ දරුවන්.
එම දරුවන්ගෙන් 4% රෝග ලක්ෂණ පෙන්වූයේ ම නැහැ.90% සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුවා. දරුණු රෝග ලක්ෂණ පෙන්නුවෙ 5% ක් පමණයි. එයිනුත් දරුවන් 33ක් (0.6%) අසාධ්‍ය තත්ත්වයට ම පත් වූවා. වයස අවුරුදු 14ක එක් දරුවෙක් මියගියා.

එහිදී එල්ල වූ වැදගත්ම කරුණ වූයේ වයස අවුරුදු 1 ට වඩා අඩු කුඩා ළදරුවන්ට මෙම රෝගය ඉතාමත් දරුණු ලෙස බලපෑ හැකි බවයි.
එමෙන්ම කුමන වයසේ දරුවන්ට වුවත් මෙම රෝගය බලපෑම් ඇති කරන බව එමගින් තහවුරු වෙනවා.
එමනිසා නිවසේම රැඳී සිටින්න.... නිවසේ සිටින වැඩිහිටියන් පමණක් නොවෙයි කුඩා දරුවන් පවා මෙම රෝගය නිසා අනතුරේ බව මතක තබාගන්න.



COVID-19(SARS-CoV-2) පැතිරෙන හැටි....

අපි බොහෝ දෙනෙක් දන්නවා මෙම වෛරසය කෙළ බිඳිති මගින් හා  වෛරසය රැඳී ඇති මතුපිට පෘෂ්ඨයන්ගෙන් පැතිරෙන බව. ඒ නිසාම තමයි හැකිතාක් නිවසේම රැඳී සිටින්න, මීටරයක් ඈතින් ඉන්න, නිතර අත සබන් යොදා සෝදන්න, මුව ආවරණයක් පාවිච්චි කරන්න කියලා උපදෙස් ලැබෙන්නේ.....

මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව සිංගප්පුරුවේදී කළ පර්යේෂණයක් එළිදැක්වුණා.... එහිදී රෝග පැතිරීම අවස්ථාවන් තුනක් අධයනය කරලා තිබුණා.(https://www.jwatch.org/na51156/2020/03/23/investigation-three-covid-19-infection-clusters-singapore?query=etoc_jwgenmed&jwd=000013538144&jspc=D)

ඒ අධ්‍යයනය අනුව මෙම වෛරසයේ බීජෞෂණ සමය (Incubation period) දින හතරක් ( දින තුනත් හයත් අතර කාලයක්). ඒ කියන්නේ වෛරසය ඇඟට ඇතුල්වෙලා රෝග ලක්ෂණ පෙන්වන්න ගතවන කාලය දින හතරක් පමණ වෙනවා.

එහිදී එක් රෝගියෙක් ගෙන් එම වෛරසය එකොළොස් දෙනෙකුටම පැතිරිලා තිබුණා. ඒ කියන්නේ වෛරසයේ ආසාදන  හැකියාව ඉහළයි. බොහෝදෙනෙකුට වෛරසය වැළඳී තිබුණේ ස්පර්ශය මගින්... අතට අත දීම, එක කෑම වේල බෙදාගෙන කෑම, සිප වැළඳ ගැනීම වෛරසය පැතිර යාමට හේතුවක් වුණා.
එක් අවස්ථාවකදී රෝගියෙක් වාඩිවී සිටි පුටුවක වෙනත් අයෙකු වාඩි වීම නිසාත් රෝගය පැතිරිලා තිබුණා.


ඒ නිසා වෛරසය පැතිරීම අවම කිරීමට, 

1. නිවසේම රැඳී සිටින්න.
2. නිතර අත සෝදන්න (සබන් යොදා).
3. මීටරයක අවම පරතරය තබා ගන්න.
4. මුව ආවරණයක් නිවැරදිව පළඳින්න...
5. ඔබට කැස්ස, හෙම්බිරිස්සාව, උණ, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, ප්‍රතිකාර ලබාගන්න වෙන්ව සිටින්න.
එම රෝග ලක්ෂණ පවතී නම් ඔබගේ රෝග ඉතිහාසය නිවැරදිව වෛද්‍යවරයාට හෙළි කරන්න.