ඩෙංගු වළක්වන්න මදුරුවො මරන්නම ඕනෙද?

ඩෙංගු රෝගය ශ්‍රී ලාංකික අපිට නුහුරු වචනයක් නෙවෙයි. කොහොම වුණත් මේ වර්ෂය ඩෙංගු වලින් අපේ රට ටිකක් තදින්ම බැට කෑවා. වැසි තත්ත්වයේ වර්ධනය සහ ඉදිරියේදී පාසල් ආරම්භවීමත් සමග ආපහු ඩෙංගු රෝගය හිස ඔසවයි කියලත් සැකයක් තියෙනවා.


ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතුවෙලා පාසල්වලට නිර්දේශ කරලා තිබුණා පාසල් පටන් ගැනීමට පෙර පාසැල් තුල ශ්‍රමදානයක් කර, අදාල පිරිසිදු කිරීම් කරන ලෙස. ඒ වගේම අධි අවදානම් කලාපවල ඇති පාසැල් ධූමායනය කරන්නත් කටයුතු කරාවි.


මේ කටයුතු කොහොම වුණත්, දරුවන් පාසල් යවද්දී වගේම අපි නිවසේ හිටියත් රැකියාවක ගියත් මදුරු දෂ්ඨනයෙන් වැලකී සිටීම ඩෙංගු රෝගය අපිට වැළඳීම වළක්වා ගැනීමට හේතු වේවි. මොකද ඩෙංගු රෝගය අපට වැලඳෙන්නේ ඩෙංගු ආසාදිත මදුරුවෙක් අපිව දෂ්ඨනය කළොත් විතරක් නිසා. ඩෙංගු මදුරුවා දවල් කාලයේ දෂ්ට කරන මදුරුවෙක් නිසා මදුරුදැල් භාවිතයෙනුත් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.


මදුරු දෂ්ඨනයෙන් වැළකෙන්න අපිට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. මුළු සිරුරම ආවරණය වන පරිදි ඇඳුමක් ඇඳීම ඉතාම සුදුසුයි. ඒ වගේම මදුරු විකර්ශක අපිට ඇගේ් හෝ ඇඳුමේ ආලේප කරගන්න පුලුවන්නම් එමඟිනුත් මදුරු දෂ්ඨනය අවම කරගන්න පුළුවන්. මේ සඳහා අනුමත මදුරු විකර්ශක කිහිපයක් වෙළඳ පොළේ තියෙනවා. රජයේ පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අනුමත මදුරු විකර්ශක වල වෙළඳ නාමය හා රසායනික නාමයන් පහත දැක්වෙනවා. ඩෙංගු බහුල මේ කාලයේ මෙවැනි මදුරු විකර්ශක භාවිතය ඩෙංගු රෝගයෙන් වැලකී සිටීමට ඉවහල් වේවි. මීට අමතරව පිරිසිදු පැඟිරි තෙල් හොඳ මදුරු විකර්ශකයක්. ඒ මගින් වන පරිසර හානියත් අවමයි. 


මෙම මදුරු විකර්ශක වල ක්‍රියාකාරිත්වය බොහෝ විට පැය භාගයේ සිට පැය හයක් දක්වා කාලයක් විය හැකියි. ඒ නිසා දීර්ඝ කාලීනව භාවිතා කරන විට නැවත ආලේප කරන්න සිදුවිය හැකියි. එමෙන්ම මෙම රසායන ද්‍රව්‍ය භාවිතයේදී  ලේබලය හොඳින් කියවා ඒ අනුව කටයුතු කිරීම මගින්, ඒවායෙන් වන හානි අවම කිරීමටත් එමගින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් හේතුවේවි.

දිගුකල් ජීවත් වෙන්න ජපානයෙන් රහසක්.....



හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියි ඒකට. ඒ සඳහා හේතුවන කරුණක් ජපන් පර්යේෂකයන් විසින් මෑතක දී හෙළිකර ගෙන තිබෙනවා.


මෙම පරීක්ෂණය ජපන් වාසීන් 70796ක් යොදාගෙන වසර දහඅටක් පුරා සිදුකළ පර්යේෂණයක්. මෙහිදී පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා සත්ව මාංශ ප්‍රෝටීන ලෙස ගන්නා පිරිසට වඩා ශාකවලින් ලබාගන්නා ප්‍රෝටීනමය ආහාර(රනිල භෝග) වැඩිපුර ආහාරයට ගන්නා අය වැඩි කාලයක් ජීවත්වන බව. ශාකමය ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගන්නා අය හතර හදවත් රෝග අඩු බව ඔවුන් සොයාගෙන තිබෙනවා.



දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන වලින් ලබාගැනීම, එහෙම නැතිනම් වැඩි වැඩියෙන් අපේ ආහාරයට එළවළු පලතුරු එකතුකරගැනීම දීර්ඝකාලීන සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතුවක් වේවි.

දියවැඩියාවට විටමින් D


රුධිරයේ විටමින්-ඩී මට්ටම අඩු පුද්ගලයින් දියවැඩියාවට වැඩි අවධානමක් දක්වන බව තහවුරු කරගත් කාරණයක්. එසේවුවත් දියවැඩියා වැලැක්වීම සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබාදීම සාර්ථකද යන්න විද්‍යාත්මකව තහවුරු කර තිබුණේ නැහැ.

     මේ පිළිබඳව පුද්ගලයින් 2423 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ විටමින් D අතිරේකයක් ලෙස ලබාදී මගින් දියවැඩියාව ඇතිවීම වැළැක්විය නොහැකි බවයි. එම නිසා දියවැඩියාව වළක්වා ගැනීම සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබා ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නොවන බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

            කෙසේ වුවත් සිරුරේ විටමින් D ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට උදෑසන සහ සවස් වරුවේ මුදු හිරු එළියට නිරාවරණය වීම හා මාළු, බිත්තර කහමදය හා හතු වැනි විටමින් D බහුල ආහාර කෑම වේලට එක්කර ගැනීම කල හැකියි.



Source - New England medical journal