දත් මදින්න toothpaste......



දවසට දෙපාරක් වත් දත් මදින්න කියන එක දන්ත වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්. දත් මදින්න දන්තාලේපයක් (toothpaste) එකක් පාවිච්චි කරන එක අපේ පුරුද්දක්.  දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතය වඩා සුදුසුයි කියලා. එමඟින් දත් දිරා යාම වළක්වන බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.


හැබැයි ෆ්ලෝරයිඩ් කියන්නේ වැඩිපුර ගත්තොත් විෂ වෙන්න පුළුවන් රසායනයක්. දන්තාලේප වෙළඳ දැන්වීම් බලද්දි නම් අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒගොල්ලො වෙළඳ දැන්වීමෙ පෙන්නන දන්තාලේප තැවරුම වෛද්‍ය නිර්දේශයන්ට වඩා ගොඩක් වැඩියි. 



 ෆ්ලෝරයිඩ් වැඩි උනොත් ඒවා දත් වල, අස්ථි වල තැන්පත් වෙලා ෆ්ලෝරෝසියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්.


එමනිසා න්තාලේප භාවිතයේ දී නිවැරදි ප්‍රමාණය භාවිතා කිරීම වැදගත්. කුඩා දරුවන්ට වැඩිහිටියන්ට තරම් දන්තාලේප ප්‍රමාණයක් භාවිතය සුදුසු නැහැ. ඒ වගේම කුඩා දරුවන් දන්තාලේප ගිලීමටත් වැඩි අවදානමක් තියෙනවා. මොකද නවීන දන්තාලේප වලට රසක් සහ සුවඳක් එකතු කරලා තියෙන නිසා, කුඩා දරුවන් ආසයි ඒ රසට සහ සුවඳට.

ඒ නිසා දන්තාලේප නිවැරදි ප්‍රමාණයක් භාවිතා කිරීම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් සෞඛ්‍යාරක්ෂිතයි.
කුඩා දරුවෙක් ගේ පළමු දත් මතු වූ දා සිට දත් මැදීම ආරම්භ කිරීමට වෛද්‍ය නිර්දේශයයි.  නමුත් ඒ සඳහා දන්තාලේපයක් අත්‍යවශ්‍ය නැහැ. 

වයස අවුරුදු දෙකත් තුනත් අතර දරුවෙකුට දන්තාලේප වී ඇටයක තරම් ප්‍රමාණයක් එකවර දත් මැදීම සඳහා ප්‍රමාණවත්. වයස අවුරුදු තුනත් හයත් අතර දරුවෙකුට කුඩා කඩල ඇටයක් තරම් ප්‍රමාණයක දන්තාලේප එක් වරකට සෑහෙනවා.


වයස හයෙන් පස්සෙ නම් දරුවන්ට දන්තාලේප ගිලීම එපා කියලා අවවාද කරන්න පුළුවන් වගේම ඒ අයට තේරුමක් තියෙන නිසා දන්තාලේප ප්‍රමාණය එතරම් ගැටලුවක් නැහැ. ඒ වුණත් කඩල ඇටයක ප්‍රමාණය ඒ අයටත් ප්‍රමාණවත්.
දරුවන්ට දත් මැදීම කියාදීමේදී මේ කරුණු මතක තබා ගැනීම ඔබට වැදගත් වේවි.

කුරුලෑ

කුරුලෑ කියන්නේ තරුණ වයසේ දරුවන්ට වද දෙන ප්‍රශ්නයක්.තරුණ අයට විතරක් නෙවෙයි මැදි වයසේ අයත් මේ ප්‍රශ්නයටමුහුණ දෙනවා.


කුරුලෑ බහුලව දකින්න ලැබෙන්නේ මුහුණේ නිසා සහ තරුණ වයසේ දරුවන් තමන්ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙන නිසා කුරුලෑ ප්‍රශ්නය ඒ අයට මානසික වදයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සමහර කුරුලෑ කසන එකත්, කුරුලෑ නිසා ඇතිවන වේදනාවත් හරිම කරදරකාරීයි. එමෙන්ම සමහර දරුවන්ට පාසලට පැමිණීම, රැකියාව තෝරා ගැනීම වැනි කාරණා වලටත් කුරුලෑ නරක විදිහට බලපාන්න පුළුවන්.
ඒ වගෙම මෙම දරුවන් අධික ලෙස කේන්ති යාම, විෂාදය, සාංකාව වැනි මානසික අපහසුතා වලිනුත් පෙලෙන්නට මෙම කුරුලෑ බලපානවා වෙන්න පුළුවන්.


ඇයි කුරුලෑ ඇතිවෙන්නේ?
රෝම කූප සමග ඇති sebacious ග්‍රන්ථි මගින් නිපදවෙන sebum ශ්‍රාවයන් වැඩි වීම කුරුලෑ ඇතිවීමට පළමු පියවර ලෙස දක්වන්න පුළුවන්. ඒ සමගම අදාල ග්‍රන්ථි ගණ වීමත් p. acne කියන බැක්ටීරියාවේ අධි වර්ධනයත් මෙහිදී දැකිය හැකියි. මෙයට ප්‍රතිචාරයක් ලෙස සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ප්‍රදාහය තමයි කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුව.


ඉතිං කුරුලැ වලට මොකද කරන්න ඕනේ?
කුරුලෑ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම විධි ගණනාවක් තිබෙනවා. එක් එක් ප්‍රතිකාර විධි එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමයි වඩා සුදුසු. ප්‍රතිකාර කලින් ලබා ගැනීම නිසා කුරුලෑ නිසා ඇතිවන ලප කැළැල් ඇතිවීම වැළැක්විය හැකියි. එම නිසා කුරුලෑ මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්.
විශේෂයෙන් පරිස්සම් විය යුතු දේවල් තියනවද?
කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී බගේ ආහාර රටාව ක්‍රියාකාරකම් වැනි දේවල් පවා වෙනස් කළ යුතුයි. අධික තෙල් සහිත ආහාර වලින් ඉවත් වීම ඉතාම වැදගත්. 

එමෙන්ම රූපලාවන්‍ය තැවරුම් හෝ වෙනත් තැවරුම් භාවිතා කරන්නේ නම් වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ අනුමැතිය සහිතව එවැනි ද්‍රව්‍ය පාවිච්චි කිරීම වැදගත්. සමහර ප්‍රතිකාරයන් ගර්භණී මවකට සුදුසු නැහැ. එම නිසා ඔබ ගර්භණී බවට පත්වීමට අදහසක් තිබේ නම් ප්‍රතිකාර ගැනීමට පෙර ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුයි.


කුරුලැ වලට කරන ප්‍රතිකාර විධි මොනවාද?
මෙහිදී සමහර සබන් වර්ග සහ ක්‍රීම් වර්ග භාවිතයට උපදෙස් දෙනවා. එම ක්‍රීම් වර්ග සහ සබන් වර්ග සම මතුපිට ඇති බැක්ටීරියා ඉවත් කිරීමටත්, වැසුණු ග්‍රන්ථි සිදුරු නැවත විවෘත කිරීමටත්, සමෙහි ඇතිවන ප්‍රදාහය අවම කිරීමටත් හේතු වෙනවා.
ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ, සිරුරේ හෝමෝන වෙනස් කිරීමට දායක වන ඖෂධ මහර විට වෛද්‍යවරයා නිර්දේශ කරන්න පුළුවන්.


ප්‍රතිකාර කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියනවද?
සාමාන්‍යයෙන් කජු ඇටයක තරම් ප්‍රමාණයේ cream ප්‍රමාණයක් මුහුණ පුරාම පැවරීමට ප්‍රමාණවත්.


වෛද්‍යවරයා විශේෂයෙන් කියා නැතිවිට ක්‍රීම් වර්ග තැවරීම මුළු මුහුණ පුරාම සිදු කළ යුතුයි. සමහරවිට බෙල්ල පිටුපස, පපුව සහ පිට ප්‍රදේශයේ ආලේප කිරීමට වෛද්‍යවරයා උපදෙස් දිය හැකියි. මොකද මේ ප්‍රදේශවලත් කුරුලෑ ඇතිවීමේ අවදානම තිබෙනවා. කිසිම අවස්ථාවක කුරුලෑව මත පමණක් ප්‍රතිකාරය ආලේප කරන්න එපා. කුරුලෑ තියෙන්නේ එතැන උනාට මුලු මුහුණ පුරාම කුරුලෑ වර්ධනය වීමේ අවධානමක් තියෙන නිසා කුරුලෑව මත පමණක් ප්‍රතිකාර කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි.
ඒ වගේම මෙහිදී පාවිච්චි කරන සමහර හෝමෝන බෙහෙත් වර්ග උපත් පාලන බෙහෙත් ලෙස ද භාවිතා කරන බෙහෙත්. ඒ පිළිබඳ කිසිම සැක සංකාවක් තබාගත යුතු නැහැ.
ඔබ වෙනත් රූපලාවන්‍ය cream, fascial wash, sunscreen භාවිතා කරන්නේ නම ඒ් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ අනුදැනුම මත අදාළ දේවල් භාවිතා කිරීම වැදගත්.
කුරුලෑ වලට ප්‍රතිකාර ආරම්භ කළ වහාම ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ නැහැ එයට සති ගණනක් හෝ සමහර මාසයක් දෙකක් තුනක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවී ඉවසීමෙන් අදාළ ප්‍රතිකාර කටයුතු කරන්න.