දියවැඩියාවද? එහෙනම්, උදේට රජෙක් වගේ කන්න....

උදේට රජෙක් වගේ කාලා දවල්ට සාමාන්‍ය මනුස්සයෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා.


 මේ කියමන දියවැඩියා රෝගීන්ටත් සාධාරණ බව නවතම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ බව කවුරු වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Daniela jacubowikz (MD) මහත්මිය ඇතුළු පිරිස සිදුකළ පර්යේෂණයකින්. දියවැඩියා රෝගීන් 28 දෙනෙක් වසර පහක් පුරා අධ්‍යනය කිරීමෙන් අනතුරුව, ඔවුන් මෙම නිගමනයට එළඹිලා තිබෙනවා.
මෙතෙක් කලක් බොහෝදෙනෙක් සිතා සිටියේ දවසේ කැලරි ප්‍රමාණය, වේල් හයකට බෙදෙන සේ සමසමව ආහාර වේල් හයක් ගැනීම දියවැඩියාව පාලනයට සුදුසුම ක්‍රමය බවයි. මෙම පර්යේෂණ ප්‍රතිඵල සමග දවසට වේල් තුනක් ආහාර ගැනීම දියවැඩියා පාලනයට වඩාත් සුදුසු බව තහවුරු වෙනවා. මෙම ආහාර වේල් තුනෙනුත්, වැඩි කැලරි ප්‍රමාණයක් උදේ ආහාරයට ද අවම කැලරි යුතු ප්‍රමාණයක් රාත්‍රී ආහාරයට ද එකතු කරගැනීම දියවැඩියා පාලනයට පිටිවහල් වෙනවා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ එම ආහාර රටාව අපගේ ජෛව කාල හෝරාවට ද අනුකූල වන නිසා එසේ සිදුවන බවයි.
එලෙස ආහාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතාවය පහළ යන අතර දියවැඩියා පාලනයද හොඳ මට්ටමකට පැමිණෙනවා. එමෙන්ම සිරුරේ බර පාලනයට ද එමගින් ඉමහත් පිටිවහලක් වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. අනිත් විශේෂම කරුණ වන්නේ ආහාර වේල් තුනක් ගැනීම තුළින් රුධිරයේ සීනි අඩු වීම නිසා ඇතිවන Hypoglycaemia තත්ත්වය ද මග අවම වන බව  තහවුරු වීමයි. එම නිසා රාත්‍රී ආහාරය කැලරි අවම සැහැල්ලු ආහාර වේලක් ලබාගැනීම පිළිබඳ ඔබ බිය විය යුතු නැහැ.
උදේ ආහාර වේල කාබෝහයිඩ්‍රේට සහ අනෙකුත් පෝෂක නිසි ලෙස අඩංගු හොඳ ආහාර වේලක් ලබාගැනීමත්, රාත්‍රී ආහාරය කැලරි අවම එළවළු, මස්, මාළු අඩංගු සැහැල්ලු ආහාරයකින් සෑහීමට පත් වීමත් දියවැඩියාව පාලනයට මනා පිටිවහලක් වේවි.

එමෙන්ම ඔබට නිර්දේශ කර ඇති ඖෂධ නිවැරදිව භාවිතා කිරීමත්, ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීමත්, වැරදි පුරුදු වලින් ඉවත් වීමත් ඒ වගේම රුධිර සීනි මට්ටම නිසියාකාරව පරික්ෂා කර ගැනීමත් ඉතා වැදගත් බව මතක තබාගන්න......

පෝලියෝ 3 කාණ්ඩය මිහිපිටින් තුරන් කරයි....

පෝලියෝ වෛරස අනු කාණ්ඩ තුන අතරින් තුන්වන කාණ්ඩය ද මිහිපිටින් තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. මෙම වෛරස් කාණ්ඩයට අවසාන වරට වාර්තා වූයේ 2012 වසරේ දී නයිජීරියාවේදීයි.
2015 වසරේ දී පෝලියෝ දෙවන අනු කණ්ඩය ද මෙලොවින් තුරන් කළ බව සෞඛ්‍ය සංවිධානය තහවුරු කළා. ඒ අනුව දැනට ලොව ඉතිරිව පවතින්නේ පෝලියෝ අනුකාණ්ඩ එක පමණයි.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල තවමත් පෝලියෝ වෛරසය හඳුනා ගැනෙනවා. කලින් මෙම වෛරසය අප්‍රිකානු මහද්වීපයෙනුත් වාර්තා වුවත් 2016න්පසු එම පළාත්වලින් ද රෝගීන් වාර්තා වූයේ නැහැ.
මෙම වෛරස කාණ්ඩයන් පොළෝ තලයෙන් ඉවත් කිරීමත් සමගම ප්‍රතිශක්තිකරණ ඖෂධ සඳහා යොදා ගන්නා සක්‍රීය වෛරස් අනුකාණ්ඩයන්ද  ඉවත් කෙරෙනු ඇති. ඒ වෙනුවට අක්‍රිය කරන ලද වයිරස ප්‍රතිශක්තිකරණය සඳහා යොදා ගනු ලබනු ඇති.

කොල විතරක් කෑවොත් මොලේ වර්ධනයට බලපාවිද?


ශාකවලින් ලබාගන්නා ආහාර වැඩිපුර භාවිතයට ගැනීමෙන් සිදුවිය හැකි සෞඛ්‍යමය වාසි පිළිබඳ අපි කලින් වතාවක කතා කළා. අලුත්ම පර්යේෂණ වාර්තා වලට අනුව වැඩි වැඩියෙන් එළවළු සහ පලතුරු එකතු කර ගැනීම අපේ ශරීර සෞඛ්‍යයට හිතකරයි. 

මෙම වාර්තා එළිදැක්වීමත් සමඟ ම බොහෝ දෙනෙක් එළවළු සහ පලතුරු බහුල ආහාර භාවිතයට යොමු වීමක් දක්නට ලැබෙනවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ 2017 අවුරුද්දේදී එළවළු සහ පලතුරු භාවිතය 8.1% කින් වැඩිවෙලා තියෙනවා. 

මේනැඹුරුතාවය හොඳ ලක්ෂණයක් වුණත් Emma Dirbishire (PhD) කියන පෝෂණවේදීනිය, බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ, Nutrition, Prevention & Health සඟරාවට අදහස් පළකරලා තිබුණා මෙහි නරක පැත්තක් ද ඇති බව. ඇය ප්‍රකාශ කරන්නේ මිනිස් මොළයට අත්‍යවශ්‍ය Choline කියන  රසායනය ශාකමය ආහාරවල අඩංගු වන්නේ අවම වශයෙන් බවයි.

මෙය අපේ සිරුරට නිපදවා ගත නොහැකි පෝෂකයක්. ඒ නිසා අපි එය අනිවාර්යයෙන්ම ආහාර මඟින් ලබා ගත යුතුයි. Choline ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා දාමයට ඉතා වැදගත් පෝෂකයක්. Choline ඌණතාවය නිසා අක්මාවේ ආබාධ ඇතිවීමටත් ස්නායු ආබාධවලට ලක්වීමටත් හේතුවිය හැකියි. එමෙන්ම කුසේ වැඩෙන දරුවාගේ බුද්ධි වර්ධනයටත් Choline ඉතාම වැදගත්. Choline බහුල ආහාර වන්නේ හරක් මස්, බිත්තර, කිරි ආහාර, මාළු, කුකුල් මස් වැනි සත්ව ආහාරයි. රනිල බෝග,  ඇට වර්ග බ්‍රොකොලි වැනි එළවළු වල අවම වශයෙන් Choline අඩංගු වෙනවා.
විශේෂයෙන්ම ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට මෙම පෝෂකය අත්‍යාවශ්‍යයි.

එමනිසා අපගේ ආහාර තෝරා ගැනීමේදී එළවළු පලතුරු බහුලවත් මස්, මාළු, කිරි, බිත්තර සිරැරට අවශ්‍ය ප්‍රමාණයටත් එකතු කරගැනීම ඉතාම වැදගත්.


ඩෙංගු වළක්වන්න මදුරුවො මරන්නම ඕනෙද?

ඩෙංගු රෝගය ශ්‍රී ලාංකික අපිට නුහුරු වචනයක් නෙවෙයි. කොහොම වුණත් මේ වර්ෂය ඩෙංගු වලින් අපේ රට ටිකක් තදින්ම බැට කෑවා. වැසි තත්ත්වයේ වර්ධනය සහ ඉදිරියේදී පාසල් ආරම්භවීමත් සමග ආපහු ඩෙංගු රෝගය හිස ඔසවයි කියලත් සැකයක් තියෙනවා.


ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතුවෙලා පාසල්වලට නිර්දේශ කරලා තිබුණා පාසල් පටන් ගැනීමට පෙර පාසැල් තුල ශ්‍රමදානයක් කර, අදාල පිරිසිදු කිරීම් කරන ලෙස. ඒ වගේම අධි අවදානම් කලාපවල ඇති පාසැල් ධූමායනය කරන්නත් කටයුතු කරාවි.


මේ කටයුතු කොහොම වුණත්, දරුවන් පාසල් යවද්දී වගේම අපි නිවසේ හිටියත් රැකියාවක ගියත් මදුරු දෂ්ඨනයෙන් වැලකී සිටීම ඩෙංගු රෝගය අපිට වැළඳීම වළක්වා ගැනීමට හේතු වේවි. මොකද ඩෙංගු රෝගය අපට වැලඳෙන්නේ ඩෙංගු ආසාදිත මදුරුවෙක් අපිව දෂ්ඨනය කළොත් විතරක් නිසා. ඩෙංගු මදුරුවා දවල් කාලයේ දෂ්ට කරන මදුරුවෙක් නිසා මදුරුදැල් භාවිතයෙනුත් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.


මදුරු දෂ්ඨනයෙන් වැළකෙන්න අපිට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. මුළු සිරුරම ආවරණය වන පරිදි ඇඳුමක් ඇඳීම ඉතාම සුදුසුයි. ඒ වගේම මදුරු විකර්ශක අපිට ඇගේ් හෝ ඇඳුමේ ආලේප කරගන්න පුලුවන්නම් එමඟිනුත් මදුරු දෂ්ඨනය අවම කරගන්න පුළුවන්. මේ සඳහා අනුමත මදුරු විකර්ශක කිහිපයක් වෙළඳ පොළේ තියෙනවා. රජයේ පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අනුමත මදුරු විකර්ශක වල වෙළඳ නාමය හා රසායනික නාමයන් පහත දැක්වෙනවා. ඩෙංගු බහුල මේ කාලයේ මෙවැනි මදුරු විකර්ශක භාවිතය ඩෙංගු රෝගයෙන් වැලකී සිටීමට ඉවහල් වේවි. මීට අමතරව පිරිසිදු පැඟිරි තෙල් හොඳ මදුරු විකර්ශකයක්. ඒ මගින් වන පරිසර හානියත් අවමයි. 


මෙම මදුරු විකර්ශක වල ක්‍රියාකාරිත්වය බොහෝ විට පැය භාගයේ සිට පැය හයක් දක්වා කාලයක් විය හැකියි. ඒ නිසා දීර්ඝ කාලීනව භාවිතා කරන විට නැවත ආලේප කරන්න සිදුවිය හැකියි. එමෙන්ම මෙම රසායන ද්‍රව්‍ය භාවිතයේදී  ලේබලය හොඳින් කියවා ඒ අනුව කටයුතු කිරීම මගින්, ඒවායෙන් වන හානි අවම කිරීමටත් එමගින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් හේතුවේවි.

දිගුකල් ජීවත් වෙන්න ජපානයෙන් රහසක්.....



හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියි ඒකට. ඒ සඳහා හේතුවන කරුණක් ජපන් පර්යේෂකයන් විසින් මෑතක දී හෙළිකර ගෙන තිබෙනවා.


මෙම පරීක්ෂණය ජපන් වාසීන් 70796ක් යොදාගෙන වසර දහඅටක් පුරා සිදුකළ පර්යේෂණයක්. මෙහිදී පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා සත්ව මාංශ ප්‍රෝටීන ලෙස ගන්නා පිරිසට වඩා ශාකවලින් ලබාගන්නා ප්‍රෝටීනමය ආහාර(රනිල භෝග) වැඩිපුර ආහාරයට ගන්නා අය වැඩි කාලයක් ජීවත්වන බව. ශාකමය ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට ගන්නා අය හතර හදවත් රෝග අඩු බව ඔවුන් සොයාගෙන තිබෙනවා.



දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන වලින් ලබාගැනීම, එහෙම නැතිනම් වැඩි වැඩියෙන් අපේ ආහාරයට එළවළු පලතුරු එකතුකරගැනීම දීර්ඝකාලීන සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හේතුවක් වේවි.

දියවැඩියාවට විටමින් D


රුධිරයේ විටමින්-ඩී මට්ටම අඩු පුද්ගලයින් දියවැඩියාවට වැඩි අවධානමක් දක්වන බව තහවුරු කරගත් කාරණයක්. එසේවුවත් දියවැඩියා වැලැක්වීම සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබාදීම සාර්ථකද යන්න විද්‍යාත්මකව තහවුරු කර තිබුණේ නැහැ.

     මේ පිළිබඳව පුද්ගලයින් 2423 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ විටමින් D අතිරේකයක් ලෙස ලබාදී මගින් දියවැඩියාව ඇතිවීම වැළැක්විය නොහැකි බවයි. එම නිසා දියවැඩියාව වළක්වා ගැනීම සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබා ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් නොවන බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

            කෙසේ වුවත් සිරුරේ විටමින් D ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට උදෑසන සහ සවස් වරුවේ මුදු හිරු එළියට නිරාවරණය වීම හා මාළු, බිත්තර කහමදය හා හතු වැනි විටමින් D බහුල ආහාර කෑම වේලට එක්කර ගැනීම කල හැකියි.



Source - New England medical journal

අත දිගේ ගිය පණුවා....

සිරිසේන මහත්තයා ගෙවතු වගාවක් කරගෙන යන දක්ෂ ගොවියෙක්... එයාගෙ වම් අතේ දවස් දෙක තුනක ඉඳන් කැසීමක් තිබුණා. මුලදී ගණන් ගත්තේ නැතත් පස්සේ අතේ ඉදිමීමකුත් අමුතු කැළලකුත් තිබ්බ නිසා, මේක වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ කියලා එයා තීරණය කළා.


"දොස්තර මහත්තයා, මගේ මේ වම් අත කසනවා නේ. හරි අමුතු කැළලකුත් තියෙනවා."
"කෝ බලමු අත....., ආ මේකනම් එච්චරම කලබල වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. සිරිසේන මහත්තයා වගා වැඩ කරනවනේ? පස් එහෙම නිතර අතගානවා නේද? අන්න ඒ වැඩක් කරන වෙලාවක තමයි මේක හැදිලා තියෙන්නේ"
"දරුණු ලෙඩක් ද දොස්තර මහත්තයා...?"
"නැහැ, නැහැ කලබල වෙන්න දෙයක් නැහැ, පස් වල ඉන්න පණුවෙක් අතේ සම සිදුරු කරගෙන අත දිගේ ගිහින්. ඒ ගිය පාර තමයි ඔය සර්පයෙක් ගිය පාරක් වගේ පේන්නේ..."



"අම්මෝ....ඒ කියන්නේ අත කපලා ඒ සතා එලියට ගන්න වේවිද?
"නැහැ, අවශ්‍ය නැහැ. බෙහෙතක් බීල මේක සනීප කරගන්න පුළුවන්."
"ඒ පණුවා මොකෙක්ද Doctor?
"අපි සිංහලෙන් මේ සතාට කියනවා කොකු පණුවා කියලා. (Necator spp, Anzylostoma spp). හැබැයි, මෙයා අපේ සිරුරේ හමුවෙන කොකු පණුවා නම් නෙමෙයි. අපේ සිරුරේ හමුවෙන කොකු පණුවා හම විදගෙන ඇඟ ඇතුළට ඇවිත් වසාග්‍රන්ථි දිගේ පෙනහැලි වලට ඇවිත් පෙනහැලි වලින් උගුර ළඟට ඇවිත් ආහාර මාර්ගයට ගමන් කරනවා. ආහාර මාර්ගයේ බිත්තර දාලා මලපහ එක්ක පිටවෙන බිත්තර පසට එකතු වෙලා, පස්සෙ ඒ බිත්තර පුපුරලා තමා මේ පණුවා හැදෙන්නේ. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්."


"බල්ලො, බළල්ලු වගේ සතුන්ගේ හමුවෙන කොකු පණුවා තමා මේ තත්වයට හේතුව. එයා අපේ හම විදගෙන සිරුරට ඇතුල් වුනාට එතනින් එහාට ගමන් කරන්නට බැහැ ඒ නිසා සම තුළ එහා මෙහා ගමන් කරනකොට තමා ඔය වගේ කැළලක් ඇතිවෙන්නේ."


"අම්මෝ, බය හිතෙනවනෙ දොස්තර මහත්තයා. මේකට බෙහෙත් තියෙනවද ඉතින්....?"
"ඔව් මේකට පණු රෝග සඳහා කරන ප්‍රතිකාරයන් කරන්න ඕනේ. ඊට අමතරව අත කසලා ඉදිමිලා තියෙන නිසා ප්‍රදාහය අඩු කරන ඖෂධයකුත්, ප්‍රතිජීවක ඖෂධයකුත් ගන්න වේවි."
"මේක වලක්වගන්නෙ කොහොමද ඩොක්ටර්...."
"මම කිව්වනේ මේ පණුවාගේ මූලික අවධි එයා ගත කරන්නේ පස තුල. ඒ නිසා පස් එක්ක රාජකාරි කරද්දි අත් ආවරණ භාවිතා කිරීම, මඩ සහිත පසක යනවනම් සෙරෙප්පු, පාවහන් පැළඳීම, එවැනි කටයුතුවලින් පසු අතපය හොඳින් සබන් දමා සෝදා ගැනීම කළ යුතුයි. ඊට අමතරව සුරතල් සතෙක් ඇති කරනවා නම් එයාගේ මළපහ ආරක්ෂිතව ඉවත් කර එකත්, ඒ සතුන්ට පනුබෙහෙත් නිසියාකාරව ලබා දෙන එකත් වැදගත්."
"ගොඩක් ස්තූතියි දොස්තර මහත්තයා....."

දත් මදින්න toothpaste......



දවසට දෙපාරක් වත් දත් මදින්න කියන එක දන්ත වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්. දත් මදින්න දන්තාලේපයක් (toothpaste) එකක් පාවිච්චි කරන එක අපේ පුරුද්දක්.  දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතය වඩා සුදුසුයි කියලා. එමඟින් දත් දිරා යාම වළක්වන බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.


හැබැයි ෆ්ලෝරයිඩ් කියන්නේ වැඩිපුර ගත්තොත් විෂ වෙන්න පුළුවන් රසායනයක්. දන්තාලේප වෙළඳ දැන්වීම් බලද්දි නම් අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒගොල්ලො වෙළඳ දැන්වීමෙ පෙන්නන දන්තාලේප තැවරුම වෛද්‍ය නිර්දේශයන්ට වඩා ගොඩක් වැඩියි. 



 ෆ්ලෝරයිඩ් වැඩි උනොත් ඒවා දත් වල, අස්ථි වල තැන්පත් වෙලා ෆ්ලෝරෝසියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්.


එමනිසා න්තාලේප භාවිතයේ දී නිවැරදි ප්‍රමාණය භාවිතා කිරීම වැදගත්. කුඩා දරුවන්ට වැඩිහිටියන්ට තරම් දන්තාලේප ප්‍රමාණයක් භාවිතය සුදුසු නැහැ. ඒ වගේම කුඩා දරුවන් දන්තාලේප ගිලීමටත් වැඩි අවදානමක් තියෙනවා. මොකද නවීන දන්තාලේප වලට රසක් සහ සුවඳක් එකතු කරලා තියෙන නිසා, කුඩා දරුවන් ආසයි ඒ රසට සහ සුවඳට.

ඒ නිසා දන්තාලේප නිවැරදි ප්‍රමාණයක් භාවිතා කිරීම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් සෞඛ්‍යාරක්ෂිතයි.
කුඩා දරුවෙක් ගේ පළමු දත් මතු වූ දා සිට දත් මැදීම ආරම්භ කිරීමට වෛද්‍ය නිර්දේශයයි.  නමුත් ඒ සඳහා දන්තාලේපයක් අත්‍යවශ්‍ය නැහැ. 

වයස අවුරුදු දෙකත් තුනත් අතර දරුවෙකුට දන්තාලේප වී ඇටයක තරම් ප්‍රමාණයක් එකවර දත් මැදීම සඳහා ප්‍රමාණවත්. වයස අවුරුදු තුනත් හයත් අතර දරුවෙකුට කුඩා කඩල ඇටයක් තරම් ප්‍රමාණයක දන්තාලේප එක් වරකට සෑහෙනවා.


වයස හයෙන් පස්සෙ නම් දරුවන්ට දන්තාලේප ගිලීම එපා කියලා අවවාද කරන්න පුළුවන් වගේම ඒ අයට තේරුමක් තියෙන නිසා දන්තාලේප ප්‍රමාණය එතරම් ගැටලුවක් නැහැ. ඒ වුණත් කඩල ඇටයක ප්‍රමාණය ඒ අයටත් ප්‍රමාණවත්.
දරුවන්ට දත් මැදීම කියාදීමේදී මේ කරුණු මතක තබා ගැනීම ඔබට වැදගත් වේවි.

කුරුලෑ

කුරුලෑ කියන්නේ තරුණ වයසේ දරුවන්ට වද දෙන ප්‍රශ්නයක්.තරුණ අයට විතරක් නෙවෙයි මැදි වයසේ අයත් මේ ප්‍රශ්නයටමුහුණ දෙනවා.


කුරුලෑ බහුලව දකින්න ලැබෙන්නේ මුහුණේ නිසා සහ තරුණ වයසේ දරුවන් තමන්ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වෙන නිසා කුරුලෑ ප්‍රශ්නය ඒ අයට මානසික වදයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සමහර කුරුලෑ කසන එකත්, කුරුලෑ නිසා ඇතිවන වේදනාවත් හරිම කරදරකාරීයි. එමෙන්ම සමහර දරුවන්ට පාසලට පැමිණීම, රැකියාව තෝරා ගැනීම වැනි කාරණා වලටත් කුරුලෑ නරක විදිහට බලපාන්න පුළුවන්.
ඒ වගෙම මෙම දරුවන් අධික ලෙස කේන්ති යාම, විෂාදය, සාංකාව වැනි මානසික අපහසුතා වලිනුත් පෙලෙන්නට මෙම කුරුලෑ බලපානවා වෙන්න පුළුවන්.


ඇයි කුරුලෑ ඇතිවෙන්නේ?
රෝම කූප සමග ඇති sebacious ග්‍රන්ථි මගින් නිපදවෙන sebum ශ්‍රාවයන් වැඩි වීම කුරුලෑ ඇතිවීමට පළමු පියවර ලෙස දක්වන්න පුළුවන්. ඒ සමගම අදාල ග්‍රන්ථි ගණ වීමත් p. acne කියන බැක්ටීරියාවේ අධි වර්ධනයත් මෙහිදී දැකිය හැකියි. මෙයට ප්‍රතිචාරයක් ලෙස සිරුරෙහි ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ප්‍රදාහය තමයි කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුව.


ඉතිං කුරුලැ වලට මොකද කරන්න ඕනේ?
කුරුලෑ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම විධි ගණනාවක් තිබෙනවා. එක් එක් ප්‍රතිකාර විධි එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමයි වඩා සුදුසු. ප්‍රතිකාර කලින් ලබා ගැනීම නිසා කුරුලෑ නිසා ඇතිවන ලප කැළැල් ඇතිවීම වැළැක්විය හැකියි. එම නිසා කුරුලෑ මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්.
විශේෂයෙන් පරිස්සම් විය යුතු දේවල් තියනවද?
කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී බගේ ආහාර රටාව ක්‍රියාකාරකම් වැනි දේවල් පවා වෙනස් කළ යුතුයි. අධික තෙල් සහිත ආහාර වලින් ඉවත් වීම ඉතාම වැදගත්. 

එමෙන්ම රූපලාවන්‍ය තැවරුම් හෝ වෙනත් තැවරුම් භාවිතා කරන්නේ නම් වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ අනුමැතිය සහිතව එවැනි ද්‍රව්‍ය පාවිච්චි කිරීම වැදගත්. සමහර ප්‍රතිකාරයන් ගර්භණී මවකට සුදුසු නැහැ. එම නිසා ඔබ ගර්භණී බවට පත්වීමට අදහසක් තිබේ නම් ප්‍රතිකාර ගැනීමට පෙර ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුයි.


කුරුලැ වලට කරන ප්‍රතිකාර විධි මොනවාද?
මෙහිදී සමහර සබන් වර්ග සහ ක්‍රීම් වර්ග භාවිතයට උපදෙස් දෙනවා. එම ක්‍රීම් වර්ග සහ සබන් වර්ග සම මතුපිට ඇති බැක්ටීරියා ඉවත් කිරීමටත්, වැසුණු ග්‍රන්ථි සිදුරු නැවත විවෘත කිරීමටත්, සමෙහි ඇතිවන ප්‍රදාහය අවම කිරීමටත් හේතු වෙනවා.
ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ, සිරුරේ හෝමෝන වෙනස් කිරීමට දායක වන ඖෂධ මහර විට වෛද්‍යවරයා නිර්දේශ කරන්න පුළුවන්.


ප්‍රතිකාර කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියනවද?
සාමාන්‍යයෙන් කජු ඇටයක තරම් ප්‍රමාණයේ cream ප්‍රමාණයක් මුහුණ පුරාම පැවරීමට ප්‍රමාණවත්.


වෛද්‍යවරයා විශේෂයෙන් කියා නැතිවිට ක්‍රීම් වර්ග තැවරීම මුළු මුහුණ පුරාම සිදු කළ යුතුයි. සමහරවිට බෙල්ල පිටුපස, පපුව සහ පිට ප්‍රදේශයේ ආලේප කිරීමට වෛද්‍යවරයා උපදෙස් දිය හැකියි. මොකද මේ ප්‍රදේශවලත් කුරුලෑ ඇතිවීමේ අවදානම තිබෙනවා. කිසිම අවස්ථාවක කුරුලෑව මත පමණක් ප්‍රතිකාරය ආලේප කරන්න එපා. කුරුලෑ තියෙන්නේ එතැන උනාට මුලු මුහුණ පුරාම කුරුලෑ වර්ධනය වීමේ අවධානමක් තියෙන නිසා කුරුලෑව මත පමණක් ප්‍රතිකාර කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි.
ඒ වගේම මෙහිදී පාවිච්චි කරන සමහර හෝමෝන බෙහෙත් වර්ග උපත් පාලන බෙහෙත් ලෙස ද භාවිතා කරන බෙහෙත්. ඒ පිළිබඳ කිසිම සැක සංකාවක් තබාගත යුතු නැහැ.
ඔබ වෙනත් රූපලාවන්‍ය cream, fascial wash, sunscreen භාවිතා කරන්නේ නම ඒ් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කර ඔහුගේ අනුදැනුම මත අදාළ දේවල් භාවිතා කිරීම වැදගත්.
කුරුලෑ වලට ප්‍රතිකාර ආරම්භ කළ වහාම ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ නැහැ එයට සති ගණනක් හෝ සමහර මාසයක් දෙකක් තුනක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවී ඉවසීමෙන් අදාළ ප්‍රතිකාර කටයුතු කරන්න.

පැණි බීම බොන්නේ බලාගෙනයි

                

  නවතම පර්යේෂණ වාර්තාවට අනුව සීනි අඩංගු පැණි වර්ග සහ පලතුරු යුෂ නිතර පානය කිරීම වකුගඩු රෝග සඳහා හේතුවක් විය හැකියි. 

                  මෙම පර්යේෂණය සිදු කර ඇතේ වයස 54 ක ඇමරිකානු ජාතික කාන්තාවන් සහ පුරුෂයන් ගේ සහභාගීත්වයෙනුයි. එම කණ්ඩායම පුද්ගලයන් 185 ගෙන් සමන්විත වූ අතර, ඔවුන් වසර අටක්-දහයක් තරම් කාලයක් නිරීක්ෂණය කිරීමෙන් මෙම නිගමනයට එළඹී තිබෙනවා.

                  පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ සෝඩා වර්ග පානය සහ වකුගඩු රෝග වැඩි සබඳතාවක් පෙන්වන බවයි. එමෙන්ම සීනි යෙදූ පලතුරු බීම වර්ග ද එලෙසින්ම වකුගඩු රෝග සඳහා සබඳතාවයක් පෙන්වනවා.

                 අධික සීනි භාවිතය තරබාරුව, අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ හදවත් රෝග සඳහා හේතුවන බව සොයාගෙන තිබුණා. නමුත් අධික සීනි අඩංගු ආහාර භාවිතය වකුගඩු රෝග සඳහා බලපාන බව පර්යේෂණයකින්  හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙයයි. අධික සීනි භාවිතය ඉහත රෝගයන්ට හේතු වීම සහ එමගින් වකුගඩු මත ඇති වන බලපෑම මෙම වකුගඩු රෝග සඳහා හේතු විය හැකි බව පර්යේෂකයන් විශ්වාස කරනවා.


                එමනිසා අධික සීනි අඩංගු පලතුරු යුෂ සහ සෝදා වර්ගයේ පැණි බීම භාවිතය අවම කිරීම ඔබගේ වකුගඩුවල යහපැවැත්මට වැදගත් වේවි.

 නිර්වින්දනය සහ ඔබේ දරුවා



නිර්වින්දන වෛද්‍යවරයාගේ කාර්යභාරය කුමක් ද ?
නිර්වින්දන  වෛද්‍යවරයා සැත්කමට ප්‍රථමයෙන්, සැත්කම අතර තුර දී මෙන්ම සැත්කම  අවසන්  වූ පසුවද  රෝගියා ආරක්ෂා සහිතව රැක බලා ගනී. ඔබේ නිර්වින්දන වෛද්‍යවරයා මේ පිලිබඳ සුදුසුකම් සපිරි සහ අත්දැකීම් බහුල අයෙකි. එනිසා ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියළුම කාර්යයන් සිදුකරනු ඇත. එමෙන්ම සැත්කමෙන් වේදනාවක් නොදැනෙන සේ සුවපහසු ලෙස සැත්කම සිදු කිරීමට අවශ්‍ය සියළු දේ සිදුකරනු ඇත.
නිර්වින්දන  වෛද්‍යවරයා සැත්කම අවසන් වනතුරුම සෑම විනාඩියකම ස්වසනය, රුධිර සංසරණය සහ වෙනත් වැදගත් සහ අවශ්‍ය කරුණු නිරීක්ෂණය කරයි. සැත්කම අවසන්වූ පසුවද නැවත ප්‍රකෘති සිහිය ලබාගන්නාතුරු ද මෙම නිරීක්ෂණයන් සිදු කරයි.
වේදනා නාශක ලබාදීම සහ වමනය වැනි අනෙකුත් ආභාධ සඳහාද ප්‍රතිකාර කිරීමද නිර්වින්දන වෛද්‍යවරයා විසින් සිදුකරයි.


රෝගී දරුවා සැත්කමට සුදානම් කරන්නේ කෙසේද ?
නිර්වින්දන වෛද්‍යවරයා සැත්කමට ස්වල්ප වෙලාවකට ප්‍රථම ඔබ හමුවෙයි. ඔබේ දරුවට සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඇදුම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිනම් ඒ පිළිබඳව පවසන්න. සෙලවෙන දත් ඇතිනම් ඒවා ඇති ප්‍රදේශය පිළිබඳව දැනුවත් කරන්න.
ඔබේ දරුවාගේ වෙනත් ආභාධ ඇතිනම් හෝ කලින් නිර්විනදයන් සිදුකර ඇති  නම් හෝ ඔබ විශේෂිත ලෙස සලකන යම්කිසි හේතුවක් ඇතිනම් නොසඟවා වෛද්‍යවරයාට පවසන්න.
දරුවට දැනට බෙහෙත් ලබාදෙන්නේ නම් එම තොරතුරු වෛද්‍යවරයාට ලබාදෙන්න. ඉන්හෙලර් (Inhaler) ගන්නේ නම් සහ අනෙකුත් බෙහෙත් එලෙසම ලබාදෙන්න. වෛද්‍යවරයා යම්කිසි බෙහෙතක් නැවැත්වුවහොත් එය පිළිපදින්න.
බෙහෙත් හෝ ආහාර වලට අසාත්මිකතාවයක් (allergy ) ඇතිනම් ඒ පිලිබඳව පවසන්න. ඇතැම් ළමුන් ප්ලාස්ටර් (Plaster ) වලට අසාත්මිකයි.
සැත්කමට ප්‍රථම නිරාහාරව සිටිය යුතුද?
ඔවි !, ඔබේ දරුවා නිරාහාරව සිටීම අමාරු කාර්යයක් වුවත් සෑම සැත්කමකටම ප්‍රථම එසේ නිරාහාරව සිටිය යුතුයි. එසේ නොවුනහොත් අමාශයේ ඇති ආහාර ස්වසන මාර්ගයේ හිරවී භයානක ප්‍රථිපල ඇතිවිය හැක. නිරාහාරව සිටි විට අමාශයේ ආහාර නොමැති නිසා එවැනි අනතුරක් සිදු නොවේ. සෑම විටම නිර්වින්දන වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.


කොපමණ වේලාවක් නිරාහාරව සිටිය යුතුද ?
1. බත්, පාන් සහ අල වර්ග වැනි ඝන ආහාර සඳහා පැය 6ක්  එමෙන්ම චුවින්ගම් (chewing gum) හෝ ටොෆි සහ කොකා කෝලා, ස්ප්‍රයිට් වැනි කා(ර්)බනේටඩ් බීම සඳහා පවා පැය 6ක් නිරාහාරව සිටිය යුතුයි.
2. මව් කිරි සඳහා පැය 4ක් (එහෙත් අනෙකුත් කිරි සඳහා පැය 6ක්)
3. වතුර සඳහා පැය 2ක්


සැත්කම සිදුකරන දිනයේදී කුමක් කල යුතුද ?
ඔබේ දරුවා අඩු මානසික ආතතියකින් සිටීනම් කාර්යය වඩා පහසුවේ. අවුරුදු 4න් ඉහල ළමුන්ට නිවැරදි තොරතුරු පැවසීමෙන් මනා හික්මීමක් ඇතිවේ. දින කිහිපයකට ප්‍රථම සැත්කම පිළිබඳව ළමයාට සරලව පවසන්න. ළමයා කැමති සෙල්ලම් බඩුවක් රැගෙන ඒමට ඉඩදෙන්න. තරමක් ලොකු ළමුන්ට තමන් කැමති සින්දු ඇසීමට හෝ ගේම් එකක් ක්‍රීඩා කිරීමට ඉඩ සලස්වන්න.
දෙමාපියන් තැති ගැනීමක සිටිනම් ළමයා වඩාත් ආතතියකට පත්වේ. දරුවා නිදි කරවනතුරු දෙමාපියන්ට ද ශල්‍යාගාරයේ සිටිය හැකි අතර එය ළමයාගේ ආතතිය අඩු කිරීමට උපකාරී වේ. එහෙත් ඇතැම් දෙමපියට මෙය දරාගැනීමට අපහසු විය හැක. මව හෝ පියාට පමණක් මෙලෙස ශල්‍යාගාරයේ සිටිය හැකි අතර දෙමාපියන් එසේ සිටීමට අකමැතිනම් බලකිරීමක් සිදුකරනු නොලැබේ.


ඔබේ දරුවා නිර්වින්දනය කරන්නේ කෙසේද ?
කැනූලාවක් (cannula) දරුවාගේ ශිරාවකට ඇතුළු කිරීම සරල කාර්යයක් වුවත් දරුවාට සහ දෙමාපියන්ට ඇති අමිහිරිම තත්ත්වය එයයි. එම නිසා කටු විදින ස්ථාන හිරිවට්ටන ආලේපනය හම මතුපිට ආලේප කළ හැක. එසේත් නැතිනම් නිර්වින්දන වායු පිරවූ  බැලුන් එකක් පිම්බීමෙන් ළමයා නිර්වින්දනය කළ හැක.  මව හෝ පියාට ළමයා සමඟ ළමයාට නින්ද යනතුරු රැඳීසිටීම සුදුසුයි.
මෙම ක්‍රම දෙකම සුදුසු අතර ඇතැම් ළමුන් බැලුන් පිඹීමෙන් නිර්වින්දනය වීමට වැඩි කැමැත්තක් දක්වයි.
සැත්කමෙන් පසු සිහිය නැවත ඒමට කොපමණ කාලයක් යනවාද ?
සැත්කම අවසන් වූ වහාම පියවි සිහිය ලැබෙන අතර සැත්කමට  දිගු වෙලාවක් ගත වුව හොත් නිර්වින්දනයෙන් පසු සුළු වෙලාවකට නිදිමත ගතියක් ඇති වීම සාමාන්‍ය තත්වයකි. උගුරේ අපහසුව, වමනෙට එන ගතිය, හිසේ කැක්කුම වැනි අපහසුතා සඳහා ප්‍රතිකාර දෙනු ලැබේ. පැය කිහිපයක් යනතුරු කැරකිල්ල, නොපැහැදිලි බව ඇතිවිය හැක. දැනට භාවිතා කරන නවීන නිර්වින්දන යන්ත්‍ර මගින් සහ දියුණු නිරීක්ෂණ ක්‍රම මගින් රෝගියාට අවශ්‍යම ඖෂධ මාත්‍රාව ලබා දී නිර්වින්දනය කල හැකි බැවින් මෙවැනි අතුරු අභාධ අඩුය.
වේදනා නාශක ලබා දෙන්නේ කෙසේද ?
පෙති හෝ කරල් ලෙස වේදනා නාශක සාමාන්‍යයෙන් භාවිතා කරයි. නික්ෂේපන ලෙස  වෙනත් වේදනා නාශක අවශ්‍ය නම් එය දරුවාගේ රෝගී තත්ත්වය අනුව  තීරණය කරයි.


නිර්වින්දය මගින් ඇතිවන සංකුලතා මොනවාද ?
පේශි වේදනා,කැනූලා (cannula) ඇතිතැන් වල ඉදිමුම හෝ වේදනාව, උගුරේ වේදනාව, හතිය, දත් වලට හානි වීම ඇතැම් විට ඇතිවිය  හැකියි. ඇතැම් රෝගීන් නිතැතින්ම යම්යම් ආභාධ තත්වයන්ගෙන් යුක්තයි. උදා. හදවත් රෝගීන්, පෙනහළු රෝගීන්, දියවැඩියාව, අධික ස්ථුලතාවය. ඔබේ නිර්වින්දන වෛද්‍යවරයාට කලින් පැවති රෝග තත්වයන්  පිළිබඳව නොසඟවා පවසන්න.


නිර්වින්දන විශේෂඥ්‍ය වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල
පේරාදෙණිය


උපුටා ගැනීමකි.... කර්තෘ වෛද්‍යතුමාට විශේෂ ස්තුතිය හිමි වේ......
පොදු යහපත සඳහා පළ කෙරිණි.