සීසර් කෙරුවොත් දරුවාට දියවැඩියාව හැදෙන්න පුළුවන්.....?


මේ ආන්දෝලනාත්මක සොයාගැනීම කරල තියෙන්නෙ එංගලන්තයේ කළ පර්යේෂණයකදී. එහිදී හෙළි වුණේ සීසර් සැත්කම මගින් බිහිවූ ගැහැණු දරුවන් පසුකාලීනව ස්ථූලතාවයෙන් හා දියවැඩියාව රෝගයෙන් පෙලීමට වැඩි හැකියාවක් ඇති බවයි.

මෙහිදී 1946 -1964 අතර කාලයේ ඉපදුනු ගැහැණු දරුවන් 33226ක් පර්යේෂණයට යොදා ගැනුණා. එම දරුවන් 2013 - 2015 දක්වා වසර දෙකකට වරක් පරීක්ෂා කෙරුණා. මෙහිදී හෙළි වූයේ සාමාන්‍ය දරු උපතක් ඇති ගැහැණු දරුවෙක්ට වඩා සීසර් සැත්කම් මඟින් ඉපදුනු ගැහැණු දරුවන් ස්ථුලතාවයට හා දියවැඩියා රෝගයට ලක් වීමට වැඩි අවදානමක් ඇති බවයි.

සාමාන්‍ය දරු උපතකින් ඉපදෙන දරුවෙකුට වඩා සීසර් සැත්කම් මගින් ඉපදෙන දරුවකු දීර්ඝකාලීන ගැටලූවලට ලක් විය හැකි බවට විද්‍යාත්මක මතයක් මෑතකදී ඉදිරිපත් වෙලා තිබුණා. මෙම පරීක්ෂණය එම මතය තවත් තහවුරු කරන්නක්.

එහෙම වෙන්නෙ කොහොමද?

දරුවෙකු සාමාන්‍ය උපතකදී මවගේ යෝනි මාර්ගය හරහා දරු උපත සිදුවන විට මවගේ සිරුරේ සාමාන්‍ය බැක්ටීරියාවන් දරුවාගේ ආහාර මාර්ගයට ඇතුළු වෙනවා. මෙම බැක්ටීරියාවන් සහබෝජීන් සහ සහජීවීන් ලෙස ජීවත්වෙමින් සිරුරට ආරක්ෂාවක් ඇති කරනවා. නමුත් සිසේරියන් සැත්කමකින් පදින දරුවෙකුගේ ආහාර මාර්ගයට ඇතුළු වන්නේ සාමාන්‍ය පරිසරයේ (හෝ රෝහල් පරිසරයේ) සිටින බැක්ටීරියාවන්. ඔවුන් මිනිස් සිරුර හා සහජීවනයක් දැක්වීම බලාපොරොත්තු විය නොහැකියි. මෙය සනීපාරක්ෂා සිද්ධාන්තය (Hygene theory) ලෙස හැඳින්වෙනවා.

එතකොට සීසර් කරන්න හොඳම නැතිද?

මෙම පර්යේෂණ වාර්තාව නිසා අපි එතරම්ම කලබල විය යුතු නැහැ. මෙම පර්යේෂණයේත් දුර්වලතා තියෙනවා. මෙම දරුවන් ද සිසේරියන් සැත්කමට ලක් කළේ ඇයි කියන හේතුව හරියටම පැහැදිලි නැහැ. ඒ වගේම මෙම පරීක්ෂණ නිරීක්ෂණ මට්ටමේ පර්යේෂණයක්. මෙම නිරීක්ෂණය තවත් පර්යේෂණ අවස්ථා කීපයකින් තහවුරු කරගත යුතුයි.

ඒ නිසා වෛද්‍යවරයෙක් වෛද්‍යමය හේතු නිසා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කළ යුතුයි කියලා තීරණය කළොත් එයට විරුද්ධ වීම බුද්ධිමත් තීරණයක් නොවේ. නමුත් සාමාන්‍ය දරු උපතකට ඇති බිය නිසා වෛද්‍යවරයා ගෙන් සිසේරියන් සැත්කමක් ඉල්ලා සිටීමට පෙර මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි.


COVID-19 නිසා මගහැරුණු වෛද්‍ය විද්‍යාවේ නව පෙරැළි...

1. මිනිස් සිරුර තුළම ජාන වෙනස් කිරීමේ තාක්ෂණය...

In vivo CRISPR, මෙම තාක්ෂණය මගින් රෝගීන්ගේ සිරුර තුළ ජාන වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් මෙතෙක් කල් සුවකල නොහැකි රෝග ලෙස සැලකුණු ජානගත රෝග සුව කිරීමට හැකියාවක් ලැබේවි. මෙම තාක්ෂණයේදී බැක්ටීරියා, බැක්ටීරියා සෛල තුළට ඇතුළු වන වෛරස් වල ජාන වෙනස් කිරීමේ එන්සයිම ක්‍රියාවලිය ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නවා. මෙය මීට කලින් මිනිස් සිරුර තුළ පරික්ෂා කර තිබුණේ නැහැ.

2. හෘදයාබාධ වලට ප්‍රතිකාර ලෙස සංගීතය.

දරුණු හෘදයාබාධයකට පසු සංගීතයට සවන් දීම එම තත්ත්වයට සුව වීම ඉක්මන් කරන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

3. ඒඩ්ස් සුව වූ රෝගීන්....

ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ දෙවැනි රෝගියා ලෙස "ලන්ඩන් රෝගියා" හඳුන්වා තිබෙනවා. එලෙස සුවේ ලැබා ඇත්තේ ඔහුගේ Hodgekin Lymphoma රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් ලෙස ඇටමිදුළු බද්ධ කිරීමෙන් පසුවයි. එම ඇටමිදුළු ලබාදුන් පුද්ගලයා ඒඩ්ස් රෝගයට ප්‍රතිශක්තියත් දක්වන ජාන විකරණයක් සහිත පුද්ගලයෙක්. මෙලෙස ඒඩ්ස් රෝගයෙන් සුව වූ පළමු රෝගියා ලෙස වාර්තා වන්නේ "බර්ලින් රෝගියා" ලෙස 2019 දී වාර්තා වූ රෝගියායි. කෙසේ වෙතත් ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ඇටමිදුළු බද්ධය තවමත් අනුමත වී නැහැ.

4. සීනි වලින් වයිරස සඳහා ප්‍රතිකාරයක්....

වෛරස් රෝගවලට ප්‍රතිකාරයක් සොයා ගැනීම ඉතාමත් අපහසුයි. බොහොමයක් වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැහැ. නමුත් වෛරස් රෝග සඳහා සාර්ථකව භාවිතා කළ හැකි අණුවක් සීනි වලින් නිස්සාරණය කර ගැනීමට පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. එය මිනිස් සිරුරට අහිතකර නොවන රසායනිකයක්. එම අනුවට වෛරසයක පිටත කවරය විනාශ කළ හැකි බව ඔවුන් පෙන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය ප්‍රතිකාරයක් ලෙස භාවිතයට තවත් පර්යේෂණ අවස්ථා කිහිපයක් පසු කළ යුතු වෙනවා.


5. අංශභාගය සුව කර ගැනීමට සර්ව සුභවාදී වෙන්න.....

සිරුරේ එක් පැත්තක් පණ නැති රෝගියෙකුට සුභවාදීව හිතන්න කියන එක විහිළුවක් වගෙයි. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ අංශභාගය සුව කිරීමට ප්‍රතිකාර අඩුයි. එනමුත් සුබවාදීව ජීවිතය දිහා බලන කෙනෙකුට අංශභාගය රෝගය සුව වීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. එම නිසාම එම රෝගීන්ගේ බලාපොරොත්තු වැඩි වෙන ලෙස හා මානසික සෞඛ්‍යය ඉහළ යන ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත්.

6. පිළිකා පනහකට වඩා කලින්ම හදුනා ගත හැකි පරීක්ෂණයක්.....

බොහොමයක් පිළිකා කලින් හඳුනා ගැනීම අපහසුයි. නමුත් කලින් හඳුනාගැනීම මගින් බොහෝ පිළිකා සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි. රුධිරයේ තිබෙන DNA අනු විශේෂිත ක්‍රමයකින් පරික්ෂා කිරීම මගින් පිළිකා රෝග නිවැරදිව කලින්ම හඳුනා ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා. එමඟින් පිළිකා සෛල තිබෙන තැන පවා නිවැරැදිව සොයාගත හැකි බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

7. හෘදයාබාධයකින් වැළකෙන්න නාන්න....

නිතර ස්නානය මඟින් හෘදයාබාධ වළක්වාගත හැකි යයි කීවොත් ඔබ එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් ජපානයේ 30000 අධික පිරිසක් යොදාගෙන කළ පර්යේෂණයකින් ඒ කතාව නිවැරැදි බව පෙන්වා තිබෙනවා. උණු වතුර නාන එක වඩාත් වාසිදායක බවයි ඔවුන් පවසන්නේ.

COVID-19 සහ ප්‍රෙෂර් බෙහෙත්



COVID-19 වෛරස් රෝගයත් එක්ක ACE Inhibitor (Captopril, Enalapril) කාණ්ඩයේ බෙහෙත් සහ Angeotensin Receptor blockers ( losartan candesartan) කාණ්ඩයේ බෙහෙත් වර්ග ගන්නා රෝගීන්ට වෛරස් රෝගය දරුණු විය හැකි බවට කතාබහක් ඇති උණා. මෙම බෙහෙත් අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත බෙහෙත් වර්ගයි. එමෙන්ම වකුගඩු සඳහා හිතකර ගුණාංග පෙන්වන නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ද මෙම ඖෂධ නිර්දේශිතයි. 


              වෛරසය සෛලවලට ඇතුල් වන සෛල ප්‍රතිග්‍රාහකත්, මෙම ඖෂධ පෙනහැලි වල ක්‍රියාකරණ සෛල ප්‍රතිග්‍රාහකත් එකක් වීම ඒ නිසා මේ මතය ඇතිවෙලා තිබෙනවා. මෙම අවදානම න්‍යයාත්මක අවදානමක් වන අතර මෙම ඖෂධ කාණ්ඩ COVID-19 වෛරසය ආසාදිත රෝගීන් ට වාසිදායක බවටද මතයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ මත දෙකම න්‍යායාත්මක මත වන අතර එය ප්‍රායෝගිකව ඔප්පු කර නැත. එමෙන්ම වෛරසය ආසාදිත රෝගීන් ගේ දත්ත සසඳන විට ද එම ඖෂධවල වාසි හෝ අවාසි සහගත බවක් පෙන්වා නැත.


                   එමනිසා විශේෂඥයින් ගේ මතය ඔබ එම ඖෂධ ගන්නේ නම් රෝගය නිසා හෝ රෝගය ඇතිවීමේ අවදානමක් නිසා හෝ එම ඖෂධ වෙනස් නොකළ යුතු බවයි. ඒ නිසා අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා රෝගීන් මෙම වෛරසයට විශේෂයෙන්  බිය විය යුතු නැහැ.

COVID-19 සුලගෙන් පැතිරෙනවා ද?

COVID-19 වෛරස් රෝගය ලෝකයට අලුත් අත්දැකීමක්. ඒ නිසාම ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක මතයන් නිරතුරුවම යාවත්කාලීන වෙනවා.
මෙම රෝගය කෙළ බිඳිති මගින් හා වෛරසය තැන්පත් වූ මතුපිට පෘෂ්ඨයන් මගින් බෝවන වග පිළිගත් මතයක්. ඊට අමතරව එය කුඩා බිඳිති ලෙස වායුගෝලයේ පැතිරී යා හැකි බවටත් දැනට මතයක් ඉදිරිපත් වී තිබෙනවා. වෛරසය කැස්ස හෝ කිවිසුම් යාම ක දී පමණක් නොව කතා කිරීමේදී සහ හුස්ම ගැනීමේදී පවා පැතිරී යා හැකි බවට දැන් විශ්වාස කරනවා.
අනෙක් කාරණය තමයි සමහර පුද්ගලයන් මෙම වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ නොපෙන්වීම. රෝග ලක්ෂණ නොපෙන්වූවත් එම පුද්ගලයාගෙන් වෛරසය තවත් කෙනෙකුට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම වෛරසය පුද්ගලයකුගේ සිරුරට ඇතුල් වී රෝග ලක්ෂණ පෙන්වීමට පෙර සිටම එම පුද්ගලයාගෙන් වෛරසය අනිත් අයට පැතිරී යාහැකි බව දැන් විශ්වාස කරනවා.
සමහර අවස්ථාවලදී රෝගීන් සමග කිසිම සම්බන්ධතාවයක් සොයාගත නොහැකිව, රෝගීන් වාර්තා වෙනවා, ඒ එවැනි රෝග ලක්ෂණ නොපෙන්වූ වෛරස වාහකයෙක් මගින් රෝගී වූ අවස්ථා විය හැකියි.
සිංගප්පුරුවේදී කළ අධ්‍යයනයකදී, පල්ලියක උදේවරුවේ විදේශිකයෙකු වාඩිවී සිටි අසුනක වරුවේ වෙනත් කාන්තාවක් වාඩිවී සිටීමෙන් එම කාන්තාවට වෛරසය වැළඳී ඇති බව තහවුරු වූවා. එම විදේශිකයන් දෙදෙනා කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වූ අය.
ඒ නිසාම ඔබට මුණගැහෙන පුද්ගලයා රෝග ලක්ෂණයක් නොපෙන්වූවත් ඔහු ආසාදිතයකු හෝ වාහකයකු විය හැකි බව මතක තබා ගන්න.
මෙම නිරීක්ෂණ තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින අතර තහවුරු කළ නිරීක්ෂණයක් නොවේ. ඒ කෙසේ වෙතත් හැකිතාක් නිවසටම වී සිටීම, නිවසින් බැහැර යනවනම් මුව ආවරණයක් නිවැරදිව පැළඳීම, නිතර දෑත් සබන් ගා පිරිසිදු කිරීම හා නිතර ගැටෙන ස්ථාන නිවැරදි ආකාරයට නිතර පිරිසිදු කිරීම රෝගය වැළැක්වීමට ඉවහල් වේවි.

COVID -19 සහ පැන්ඩෝරාගේ පෙට්ටගම.....

ග්‍රීක මිත්‍යා විශ්වාස වලට අනුව  පැන්ඩෝරා නම් කාන්තාව දිව්‍ය ලෝකයෙන් ගෙනා පෙට්ටගමක්, දෙවියන්ගේ අණට විරුද්ධව විවෘත කිරීම නිසා ලෝකයට රෝග සහ ව්‍යසන ආ බව පැවසෙනවා.

ඒ කෙසේ වෙතත් මිනිස් ලොවට රෝග කරදරවලින් නම් අඩුවක් නැහැ. එම රෝග ඇති කරන රෝග කාරක අතරින් වෛරස් රෝග ඉදිරියෙන් සිටිනවා.

වෛරස් යනු සජීවි හෝ අජීවී බව පවා විවාදිත කුඩා අණු එකතුවක්. අනිවාර්ය පරපෝෂීන් වන මෙම අණු වලට සජීවී සෛල වලින් තොරව පැවැත්මක් නැහැ. වෛරසයකට, නව වෛරස් අණු නිපදවිය හැක්කේ සජීවී සෛලයකට ඇතුලුවීමෙන් ම පමණයි. 
එම නිසා වෛරස් තම ධාරක ජීවියාට ලොකු හානියක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයට හේතුව ධාරක ජීවියා මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුවහොත් එම වයිරස් කාණ්ඩයටද  පැවැත්මක් නැති වෙන නිසා. ඒ කෙසේ වෙතත් වයිරස් වලට සිදු කළ හැකි හානිය අති විශාල බව මෙම වසංගත තත්ත්වයත් සමඟ අපට වැටහෙනවා.

පරිණාමීය වාසි සමඟ මිනිසා මිහිතලය මත තම අණසක විහිදා අවසානයි. ලෝක ජනගහනය බිලියන 7.8 ක්.
මිනිසුන්ගේ විවිධාකාර හැසිරීම් රටාවන්, දේශගුණික විපර්යාසයන්, ලොව පුරා පැතිරුණු හොඳ මහජන සෞඛ්‍යය ක්‍ර‍රමවේදයක් නොමැතිවීම යන කරුණු නිසා වෛරස් රෝග ලොව බහුල වෙන්න පටන් අරන්. මෙහි බොහොමයක් රෝග සතුන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරස් රෝග.

 එක් වෛරස් කාණ්ඩයක් සාමාන්‍යයෙන් ආසාදනය වන්නේ එක් ජීවී කාණ්ඩයකට පමණයි. එක් ජීවියෙක් තුළ ප්‍රගුණනය වීමේදී මෙම වෛරස් වල ජාන කේතයන් වෙනස් වෙනවා. එලෙස වෙනස් වීම මගින් වෙනත් ජීවියකුට ආසාදනය වීමේ හැකියාව ද ලබාගන්නවා. (මිනිසාගේ ජිනෝමය 1% වෙනස් වීමට වසර මිලියන අටත් ගත වුවත් වයිරසයක ජිනෝමය 1% ගතවීමට ගත වන්නේ දින කිහිපයක් පමණයි. ඒ වෙනස්වීමත් සමගම එම වෛරසයට වෙනත් ජීවී කාණ්ඩයට ආසාදනය වීමේ හැකියාවද ලැබෙනවා විය හැකියි.)

වෛරස් රෝගයක් නිසා මිනිසාට ඇති වූ විශාල ම බලපෑම වාර්තාවෙන්නේ 1918දී. එහිදී පැතිරුණු influenza වසංගතයෙන් මිනිසුන් මිලියන 50 ක් මිය ගියා. (එය වර්තමානයට ප්‍රක්ශේපණය කළොත් මේ කාලයේ මිනිසුන් මිලියන දෙසීයක් මියගියා හා සමානයි). වර්තමානයේ COVID-19 වසංගත තත්ත්වය ද  ලොවටම බලපාන අධි වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එහි දරුණුකම අද අපි අත්දකිමින් සිටිනවා.


ඒ කෙසේ වෙතත් මෙම COVID-19 වෛරසය පැන්ඩෝරාගේ පෙට්ටගමෙන් එලියට ආ එකක් නොවන බව විද්‍යාව අපට පහදා දෙනවා. එම වෛරසයේ  ජාන කේතයන් වවුලන්ට අසාදන වයිරසයක ජාන කේයන්ට බොහෝදුරට සමානයි. එම වෛරස් ආසාදනය පළමුවෙන්ම චීනයේ මාංශ වෙළඳපළක් ආශ්‍රිතව මතු වීමත් එයට වසංගත විද්‍යාත්මක සාක්ෂි සපයනවා. SARS, MERS (මැදපෙරදිග ශ්වසන රෝග සහලක්ෂණ වෛරසය) මෙලෙස වවුලන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ වෛරස් රෝගයන්. එමෙන්ම මෑතකදී ව්‍යාප්ත වූ ඉන්ෆ්ලුවෙන්සා H5N1, H7N9රෝගයන්ද කුකුලන් ආශ්‍රිතව මිනිසාට බෝ උණ වෛරස් රෝගයන්. 


සතුන් ආශ්‍රිතව බෝවෙන වෛරස් රෝග වලට තවත් හොඳම උදාහරණයක් තමයි ඒඩ්ස් රෝගය. ඒඩ්ස් රෝග කාරක HIV වෛරසය අප්‍රිකාවේ වඳුරන්ගෙන් බෝවී ලොව පුරා ව්‍යාප්ත වූ මාරාන්තික වෛරස් රෝගයක්. Nipah වෛරස් රෝගය වවුලන් අධිකව ගැවසෙන ප්‍රදේශවල ඌරන් ඇති කිරීම නිසා වවුලන්ගෙන් ඌරන්ට සහ ඌරන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ රෝගයක්. 

1980 දී මිනිස් ක්‍රියාකාරකම් නිසා ඊඩිස් වර්ගයේ මදුරුවන් ලොව පුරා ව්‍යාප්ත වූ අතර 2014-2016 වසරවලදී  චිකන්ගුන්යා සහ Zika වෛරස් ආසාදනයන් මෙම මදුරුවන් මගින් ව්‍යාප්ත වුණා.
අධික ජනගහන වර්ධනය, වඩාත් පහසු ගමනාගමන ක්‍රම, සනීපාරක්ෂකක්‍රම වල අඩුකම මෙම රෝග ව්‍යාප්තිය පහසු කරනවා. උදාහරණයක් ලෙස 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලොව පුරා පැතිරුණේ දුම්රිය මාර්ග හරහා සහ නාවික ගමනාගමනය හරහායි.
වර්තමානයේ අද එක් රටක ඇතිවන රෝගයක් හෙට තවත් රටක දැකිය හැකි වන තරමට ගමනාගමනය දියුණුයි. නව coronavirus වසංගතයත් සමග 1918 දී සිදු වූදේ නැවත සිදුවනවා දැයි සැකයක් තිබෙනවා. එම වෛරස් රෝග දෙකම ස්වසන මාර්ගයෙන් ව්‍යාප්ත වන අතර මුල් අවස්ථාවේදී දැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර සිටම ආසාදිතයන් ගෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.


මෙම වෛරස් රෝගය වළක්වාගන්න තිබෙන හොඳම ක්‍රමය රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීමත්, මිනිසුන් මිනිසුන් අතර සිදුවන සම්බන්ධතා දුරස්ථකරණයත්. ඒ කෙසේ වෙතත් 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයට මේ ක්‍රියාමාර්ග දෙක තුළින්ම වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වූයේ නැහැ. සැබවින්ම ගතහොත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දශක ගණනාවක් පුරා මිනිසාට ආසාදනය කරමින් තවමත් පවතිනවා. වාසනාවකට අද කාලයේ එමගින් සිදුවන මිනිස් මරණ ප්‍රමාණය අවමයි.

COVID-19 වසංගතය වෛරස් ජාන සහ මානව හැකියාවන් අතර තරගයක්. දිනපතා සිදුවන මරණය දිහා බලන විට virus ජාන අප පසුකර ඉදිරියෙන් සිටින බව පෙනෙනවා. අපේ සැලකිල්ල සහ සුපරීක්ෂාකාරීබව වෛරසය පසුකර යෑමට අපිට උදවු වේවි. හැබැයි අපි ප්‍රමාද විය යුතු නෑ......
(nejm.org/doi/full/10.1056/NEJMp2002106?query=TOC)