ඒඩ්ස් .......



ඒඩ්ස් රෝගය දැන් දැන් අපට අමතක වී යන රෝගයක්. ඇත්තටම කලාපයෙ අනෙත් රටවල් සමග ගත්තහම අපේ රටේ රෝගය වැලඳුන අය සිටින්නෙ අඩු ප්‍රතිශතයක්(0.1% අඩු). 
ඉතින් මේ ගැන අපට සතු‍ටු විය හැකිද?.
 කොහෙත්ම නැහැ.
 එහෙම කියන්නෙ  මේ අඩු ප්‍රතිශතය ටිකින් ටික වැඩිවෙන නිසා ( කලාපයෙ අනිත් රටවල් තමන්ගෙ රටවල ඒඩ්ස් රෝගය පැතිරීම අඩු කරගනිමින් පවතිනවා). එම නිසා මෙම රෝගයෙන් වැලකීම සඳහා පියවර ගැනීම ඉතාම අවශ්‍ය යුගයකට අප පැමින තිබෙනවා.

මේ ගැන  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ඒඩ්ස් පදනම එක්ව මේ දැනුවත්වීම සිදුකරනවා.


* දැනට ලංකාවෙ ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව  4200ක් පමණ වෙනවා.
*  සෑම සතියකදීම ඒඩ්ස් රෝගීන් 4-5ත් අතර ප්‍රමාණයක් අලුතින් හඳුනා ගන්නවා (දිනෙන්  දින මෙම සංඛ්‍යාව ඉහල යනවා).
*  මෙම සංඛ්‍යාවන් රෝගය වැළඳුන රෝගීන්ගෙන් සුලු ප්‍රමාණයක් පමනයි. මෙම ප්‍රමාණයටවඩා ඉතා විශාල පිරිසක් රෝගය ඇතිබව නොදැන නිදැල්ලේ ගැවසෙනවා.
* ඒඩ්ස් යනු 100%ක්ම වලක්වා ගත හැකි රෝගයක්. එමෙන්ම නිසි ප්‍රතිකාර මගින් බොහෝ දුරට රෝගයේ දුර්විපාක මගහරවා ගත් හැකියි.
* රෝගය ගැන දැනුවත්වී අප අපගේ ආරක්ෂාව සලසා ගැනීම අත්‍යවශ්‍යයි.
* සෞඛ්‍ය සේවකයින් රෝගීන් පිළිබඳව පෙරට වඩා විමසිල්ලෙන් සිටීම මගින් අදාල රෝගීන් කලින් හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුකිරීම අත්‍යවශ්‍යයි.
* ශ්‍රී ලංකාවෙ ඒඩ්ස් රොගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර මෙන්ම අදාල උපදෙස් ඒඩ්ස් මර්දන ව්‍යාපාරයෙන් සහ එහි ශාකා වලින් ලබාග හැකියි.

මේ සඳහා වැඩි විස්තර මේ මාර්ගයන්ගෙන් ලබාග හැකියි.

දුරකතන :- 011 26 67163 / 0112587444
ලිපිනය   :- ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරය, අංක. 29,සේරම් පෙදෙස, කොළඹ 10,
අන්තර්ජාලය :- www.aidscontrol.gov.lk

කිරි ගැන කතාවක්.............




මේ සිදුවීම ගැන කියන්න හිතුනෙ මේ දවස් වල කිරි පිටි ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙන නිසයි. කිරි පිටි වෙළඳාම ලංකාවෙ ඉතා විශාල ලාභ ලබන ව්‍යාපාරයක්. මෑතකදි කොතලාවල ආරක්ශක පීඨයෙ තිබුන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනකට මමත් මගේ මිතුරු වෛද්‍ය චින්තන මහතාත්, වෛද්‍ය ශ්‍යාමා මහත්මියත්, වෛද්‍ය තමරා මහත්මියත් සහභාගී උණා.ගමන අතරමගදි වෙනද වගේම පටන් ගත්ත කතාව දේශීය ආහාර පැත්තට හැරුනෙ වෛද්‍ය චින්තන මහතාත් දේශීය ආහාර, දේශීය සහල් පිළිබඳ විශාල උනන්දුවක් ඇති අයෙක් නිසයි.
"උදේට හොඳ එළකිරි වීදුරුවක් බොන්න පුලුවනි නම් කොච්චර හොඳද?"
"මෙහෙදි නම හොඳ එළකිරි හොයන්න හම්බ වෙන්නෙ නැහැ. හරක් ඇති කරන අය දැන් අඩුයි"
"ඒක තමයි, හරක් ඇති කරන එක පාඩුයි. සතුන්ට කෑම හොයන එක අමාරුයි.තරුණ අය ඒ රස්සාවට කැමති නෑ."
මේ කතාව මෙහෙම යද්දි අපේ රියදුරු මහතාත් කතාවට එකතු උනා. 
"අපේ ගෙදර නම් එළ හරකෙක් ඉන්නවා. කිරිත් ගන්නවා. මහත්තුරුන්ගෙ ගෙවල්වලට දුර වැඩියිනෙ. නැතිනම් මට කිරි බෝතලයක් එවන්න තිබුනා."
"ඉස්සර ලංකාවෙ ගමක හැම ගෙදරකම කිරි හරකෙක්  හිටියා.එයාගෙ කිරි ගෙදරටම සෑහුනා. දැන් ඒ විදිය වෙනස් වෙලා." ඒ චින්තන මහතාගෙ අදහස.

"ඒ විදිය දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ. දැන් තියෙන වැඩත් එක්ක ගෙදරක හරකෙක් ඇති කරන්නෙ කොහොමද? හැබැයි අපේ ඩ්‍රයිවර් මහත්තයගෙ පවුලෙ අය හරි වාසනාවන්තයි.හැමදාම අලුත් කිරි බොන්න පුලුවනිනෙ." මම එහෙම කිව්වෙ අපේ සම්ප්‍රදායන්ට අනුකූලව ජීවත් වෙන පවුල් කීපයක්වත් තියෙනවනෙ කියන සිතුවිල්ලත් එක්කමයි.
"මොන මහත්තය, අපේ කිරි ඔක්කොම කඩේට දෙනව. ගෙදරට බොන්න ගන්නෙ නෑ.ඉඳල හිටල මම කිරි ටිකක් බොනව එච්චරයි." රියදුරු මහත්තය පිලිතුරු දුන්නා.

මේ ප්‍රකාශය අපි හැම දෙනාම පුදුමයට කලා. ඒත් මම හිතුවෙ මේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක තමන්ගෙ ගෙදර තියෙන කිරි ටිකත් බොන්නෙ නැතිව විකුනන්න තරම් මේ අය අසරණ වෙලා කියලයි. ඒ නිසාම "ඇයි ඩ්‍රයිවර් මහත්තය, එච්චරටම ගෙදර සල්ලි ප්‍රශ්නද?"කියල ඇහුවෙ. ඒ ගෙදර අවුරුදු පහක පොඩි පුතෙක් ඉන්න බවත් මම දැනගෙන හිටියා.

  "අනේ නෑ මහත්තය. අපේ ගෙදර අය බොන්නෙ .............කිරි. එළකිරි බොන්න ගෙදර අය කැමති නෑ. ඒකයි එළකිරි විකුනන්නෙ.ඒ සල්ලි වලින් කිරිපිටි ගන්නවා."
මේ සිදුවීම අපි සියලුදෙනාටම පුදුමයක්.නමුත් රියදුරු මහතාත් සමග කතාවෙදි පැහැදිලි උනේ මේ වෙලඳ ප්‍රචාරණ මායාවන්ට ‍රැවටිලා මේ දේවල් කරන බවයි. 
නිතර දෙවේලෙ බොරුවක් ඇහුවත් ටික කලකදි ඒක ඇත්ත වගේ දැනෙනවා. වෙලඳ ප්‍රචාරණයෙදි මේ සිද්ධාන්තය ඉහලින්ම යොදා ගැනෙනවා. ඒ නිසා ලංකාවෙ කිරි වලට වඩා මේ කිරි වර්ග දරුවන්ට හොඳයි කියන දේ අපේ සමාජයට කිඳා බස්සවලයි තියෙන්නෙ.
 නමුත් නිශ්පාදන රටත් එක්ක එළකිරි වල සංයුතියෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. 
කිරි නිශ්පාදනය කරන රට දුර වීමත් සමග කිරි දොවාගත් තැන සිට අපේ ආහාරයට එක් කරගන්නා තෙක් ගතවන කාලය වැඩියි. එමනිසා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතුවීමේ/ එකතු කිරීමේ සම්භාවිතාව ඉතා වැඩියි. 
එමෙන්ම එම ආහාරය අපගේ මේසය මතට පැමිනීමේදී සිදුවන පරිසර හානිය ඉතා වැඩියි(එම ආහාරය ප්‍රවාහනයට, ගබඩා කිරීමට  සිදුවන නිසා). මෙය  ආහාර සැතපුම් (Food Miles) යන සංකල්පයෙන් දැක්වෙනවා. ආහාරයක ආහාර සැතපුම් ගනන වැඩිනම් එම ආහාරය මගින් පරිසරයට සිදුවී ඇති හානියත් වැඩියි.
එම නිසා දේශීයව ලබා ගත හැකි කිරි වර්ගයකට යොමු වීම අපේ ශරීර සෞඛ්‍යටත් රටේ ආර්ථිකයටත් වඩාත් හිතකරයි.

පොඩි ගෙඩියක්......

පොඩි ගෙඩියක්......

    සමන්ති වයස අවුරුදු 45ක ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්.දිග කාලෙක ඉඳල තියෙන කොන්දෙ කැක්කුමට බෙහෙතක් ගන්න හිතුවෙ  කැක්කුමෙ අඩුවක් දැනෙන්නෙම නැති නිසා.මෙච්චර කල් හිතුවෙ ගෙදර ළමයි දෙන්නගෙ වැඩ නිසා ආපු කොන්දෙ කැක්කුමක් වෙන්න ඇති කියලා.වෙනදට ළමයින්ට බෙහෙත් ගන්න යන දොස්තර මහත්තය ලඟට ගියේ මේකට පොඩි බෙහෙතක් ගන්න.සමන්තිව පරීක්ෂා කල වෛද්‍යවරයාටත් ලොකු අමාරුවක වෙනසක් පෙනුනෙ නැහැ.ලංකාවේ මේ වයසෙ අම්මලට තියෙන වැඩ කන්දරාවත් එක්ක කොන්දෙ කැක්කුමක්  හැදෙන එක පුදුමයකුත් නෙමෙයි. වෛද්‍යවරයාත් එහෙම හිතුවා.
    ඒ නිසා වේදනා නාශකයක්  සහ ඒ අදාල බෙහෙත් නියම කිරීමට වෛද්‍යවරයා තීරණය කලා."සමන්ති, ලොකු වැ‍රැද්
දක් පේන්න නැහැ.මට හිතෙන්නෙ වැඩ රාජකාරි වැඩි නිසා ආපු අමාරුවක් කියල.අපි වේදනා නාශක බෙහෙතක් අරගෙන බලමු.කොහොම උනත් ගොඩක් මහන්සි වෙන්න එපා.අඩු නැතිනම් සතියකින් පෙන්වන්න" වෛද්‍යවරයා උපදෙස් දුන්නා.
    සතියක්ම මේ බෙහෙත් ගත්තතත් වේදනාවෙ අඩුවක්  නැති නිසා වෛද්‍යවරයානැවතත් හමුවෙන්න සමන්ති තීරනය කලා.මේ කැක්කුමට මොකද හේතුව කියල බලන්න X-Ray පරීක්ෂාවක් කරන්න තීරනය උනේ එවිටයි.X-ray එක දැක්කමයි වෛද්‍යවරයා ගැස්සිලා ගියේ. X-ray එකට අනුව සමන්තිගෙ කොන්දු ඇට පේලියෙ එක පුරුකක ගෙඩියක් තැන්පත්වීමක වෙනසක් තිබුනා.   
    "සමන්ති, ඇඟේ කොතනක හරි ගෙඩියක් හරි ඒ වගේ වෙනසක් තියෙනවද?" 

වෛද්‍යවරයා එහෙම ඇහුවෙ මෙවැනි වෙනසක් එන්න තයිරොයිඩ් ග්‍රන්ථිය, පියයුරුවල පිළිකා වැනි තත්ව බලපාන නිසා.
    " පපුවෙ වම්පැත්තෙනම් පොඩි ගැටිත්තක් තියෙනව මහත්තය. හැබැයි ඒක දැන් අවුරුදු දෙකක ඉඳන් තියෙනවා. ඇයි මහත්තය ?" සමන්ති එහෙම ඇහුවෙ වෛද්‍යවරයගෙ මුහුනෙ වෙනස දැනුන නිසා.සමන්තිට එක පාරටම මතක් උනේ පොඩි දෙන්නව.මොනවහරි ලොකු අසනීපයක්නම් මේ දෙන්නට යන කල මොකද්ද?ඒ අම්ම කෙනෙක්ගෙ සිතිවිලි.
    "ඇයි ඉතින් ඒ ගැන කලින් කිව්වෙ නැත්තෙ.පොඩි දෙන්නගෙ අසනීපවලට ඔයා නිතර බෙහෙත් ගන්න  එනවනෙ.ලඟදි ඒ ගෙඩියෙ වෙනසක්  වෙනසක් තේරුනාද? රිදෙනව හරි, ලොකු උනා වගෙ හරි වෙනසක්?
    "ලඟදි ඉඳන් ඒක කලින් තිබුනට වඩා ලොකුයි."සමන්ති පිළිගත්තා. ඒ ගෙඩිය පිළිකා තත්වයක් බව පරීක්ශා කල වෛද්‍යවරයාට වැටහුනා.සමන්තිව  පිළිකා සම්බන්ද ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කල වෛද්‍යවරයා හිතුවෙ මේ අස්නීපෙ කලින් දනගත්තානම් කොතරම් හොඳද කියා.
    මේ තත්වය සමන්තිට විතරක් සිදු උන දෙයක් නොවෙයි.ලංකාවෙ පිළිකා රෝගීන්ගෙන් බහුතරයකගෙ කතාව ඒ වගේ.බොහෝ දෙනෙක් නොසැලකිල්ල නිසා හෝ කාන්තාවන්නම් ලැජ්ජාව නිසා හෝ වෛද්‍ය උපදෙස් සඳහා  යොමුවන්නෙ නැහැ.අවාසනාවන්ත  තත්වය වන්නෙ මෙම පිළිකා මුලදිම දැනගත්තානම් 100% සුව කිරීමට තරම් ප්‍රථිකාර ක්‍රම දැන් තිබීමයි.
     ඒ නිසා මෙවැනි තත්වයකදී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගැනීම අනිවාර්යයි.


    01.සිරුරේ තිබෙන ගැටිත්තක්, ගෙඩියක් වැනි යමක්.ගෙඩිය ලඟදී සිට ලොකුවනවානම්, රිදෙනවානම්, රතුවීමක් ඇතිනම්, ගෙඩිය මතුපිට තුවාල වීමක් ඇතිනම් එය අවදානම් තත්වයක් බව වටහා ගත යුතුයි.
    02.කටේ පවතින වේදනා රහිත තුවාලයක්,සුදු පැහැ ගැන්වීමක්  ගැටිත්තක්, දිගට පවතින විදුරුමසින් ලේ ගැලීමක්.(ඔබ බුලත්විට සපනවානම්,දුම් පානය කරනවානම් අවදානම ඉතා වැඩියි.)



    03.ලඟදී සිට ඇති අසාමාන්‍ය කෑම අරුචියක්, බලාපොරොත්තු රහිතව සිදුවන ඇඟ කෙට්‍ටුවීමක්, අධික තෙහෙට්‍ටු ගතියක්.
    04.මලපහ සමග රුධිරය පිටවීමක් හෝ කලු පාටට තාර වැනි ආකාරයට මලපහ පිටවීමක්.
    05.අසාමාන්‍ය ලෙස යෝනිමාර්ගයෙන් රුධිරය පිටවීමක්, දුගඳක් සහිත ස්‍රාවයක් පිටවීමක්.
    06.වේදනාවක් රහිතව හෝ මුත්‍රා දැවිල්ලක්  රහිතව මුත්‍රා සමග ලේ පිටවීමක් (රතු පැහැයට මුත්‍ර පිටවීමක්)
    07.බොහෝ කලක් සිට සුව නොවන තුවාලයක්..

    08.දීර්ඝ කාලීනව පවතින කොන්දේ කැක්කුමක් හෝ කොන්ද කුදු වීමක්.
    09. දීර්ඝ කාලීනව පවතින කැස්සක් හෝ කැස්ස සමග ලේ පිටවීමක් (ඔබ දුම් පානය කරන්නේ නම් අවධානම ඉතා වැඩියි). 

        මෙවැනි තත්වයක් හෝ වෙන එවැනි සැක සහිත වෙනසක් පවතීනම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුමයි.දැන් දැන් මෙම රෝග තරුණ වයසේදී පවා දැකිය
හැකිනිසා තරුණ වූ පමණින්ම මේවා නොසලකා ඉන්න එපා. හිතවතුන් පවා මේ පිළිබඳව දැනුවත් කරන්න.මොකද එය ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට වැදගත් විය හැකි දෙයක් විය හැකි නිසා.