වයින් සහ ඉරුවාරදය

           
             ඉරුවාරදය බොහෝ දෙනෙකුට කරදරකාරී වන හිසරදයක්.... මේ සඳහා විශේෂිත හේතුවක් තවමත් සොයාගෙන නැති වුවත්, විවිධ බාහිර සාධක මගින් ඉරැවාරදය ඇතිවීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන තිබෙනවා.
              මෙම අසනීපයෙන් පෙළෙන අය දන්නවා සමහර හේතු නිසා මෙම හිසරදය ඇති වෙන බව. උදාහරණයක් විදිහට සිරුරේ හෝමෝන වල වෙනස් වීම මගින් ඉරුවාරදය ඇති විය හැකියි. ඒ නිසා කාන්තාවන්ගේ මාස් ශුද්ධිය සිදුවන කාලයේදී හෝ කාන්තාවන් උපත් පාලන පෙති භාවිතා කරන විට මෙම හිසරදය වැළඳිය හැකියි. 

              එමෙන්ම නින්ද මදභාවය, හිසට සිදුවන අනතුරු, අධික මානසික ආතතිය හා සමහර ආහාර පාන වර්ග ඉරුවාරදය  ඇතිවීමට බලපානවා.ඉරුවාරදයෙන් පෙළෙන බොහෝ අය දන්නවා තමන්ට ඉරුවාරදය ඇතිවීමට බලපාන ආහාර මොනවාද කියා, එවැනි ආහාර භාවිතය අවම කිරීම තුළින් ඉරුවාරදය වැලඳීම පාලනය කරගත හැකියි.

              මෙම ආහාර පාන අතර කෝපි, චොකලට්, චීස්, අධිකව තුනපහ දැමූ ආහාර හා කෘතිම රසකාරක සහ වර්ණකාරක අඩංගු ආහාර ඉදිරියෙන්ම සිටිනවා.

                    නවතම ඇමෙරිකානු වාර්තාවකට අනුව මේ සියල්ල අභිබවමින් මධ්‍යසාර අඩංගු පාන වර්ග ඉරුවාරදයට බලපාන බව සොයා ගෙන තිබෙනවා. මෙම පාන වර්ග අතරිනුත් රතු වයින් ඉතාම නරක විදියට ඉරැවාරදයට බලපාන බව ඔවුන් පවසනවා.....
මේ උත්සව සමයේ ඒ පිළිබඳ සැලකිලිමත් වීම, ඔබගේ උත්සව සතුට ආරක්ෂා කිරීමට හේතුවක් වේවි.

මදසරුභාවයට සුදුසු ආහාර....


                    දරුවන් බලාපොරොත්තු වන යුවලකගේ පලවෙනි මාසේ දීම පිළිසිඳ ගැනීමේ හැකියාව 25%-30% පමණ වනවා. පළමු වසර අවසානයේදී ඔවුන්ගෙන්  85%ක් පමණ පිළිසිඳ ගන්නවා....
                     ඉතිරි පිරිසගේ මදසරුභාවයට විවිධ හේතු බලපානවා. කෙසේ වෙතත්  බටහිර වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති මදසරුභාවයට පිළියමක් විය හැකි ආහාර පිළිබඳවයි අද අපි සලකා බලන්නේ...

01. Folic acid - කුඩා දරුවන්ගේ ස්නායු පද්ධතියේ ඇතිවන ගැටළු මගහරවා ගැනීමට දරුවන් බලාපොරොත්තු වෙන වයසේ සියලු කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීම නිර්දේශ කරනවා. මෙය ඔබේ පළාතේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියගෙන් ලබාගත හැකියි. මෙම විටමිනය මදසරුභාවයට ද ප්‍රතිකාරයක් වන බව සොයා ගෙන තිබෙනවා. කොළ එළවළු වලද මෙම විටමිනය බහුලව හමුවෙනවා.

02. විටමින් D - විටමින් D ඌණතාවය ගබ්සා වීමේ අවදානම වැඩි කරනවා. එමෙන්ම රුධිරයේ විටමින් D අගය යහපත් මට්ටමක පවත්වා ගැනීම කෘතීම පිළිසිඳ ගැනීමේ ක්‍රියාවන්ට උදව් වෙනවා.

03. පිෂ්ටමය ආහාර - පිටි සහිත ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම අධික තරබාරුව සහ poly cystic ovarian syndrome වැනි තත්ත්වයන්ට නරකට බලපානවා. එම නිසා සැකසූ පිටි ආහාර භාවිතය අවම කිරීමත් ධාන්‍යමය ආහාර වෙත යොමුවීමත් වඩා සුදුසුයි.

04. ඔමේගා 3 මේද අම්ල - කුඩා මාලුවන්ගෙන් හමුවෙන මෙම මේද අම්ල Endometriosis වැනි රෝග තත්ත්වයන්ට ද යහපත් ලෙස බලපානවා. එමෙන්ම සජීවී උපතක් සිදු වීමේ සම්භාවිතාවයද වැඩි කරනවා.

05. ප්‍රෝටීන සහ කිරි ආහාර - මේ සම්බන්ධ මතය විවාදාත්මකයි. පරිසරයේ ඇති විෂ රසායන මස් සහ කිරි වලට මුසු වීමත් ඒ නිසා කලයට අවදානම් තත්වයක් ඇතිවීමත් සිදුවිය හැකියි. කිරි ආහාර කෑමට ගැනීම කෘතීම පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන බවට වාර්තා තිබෙනවා. කෙසේවෙතත් මාළු ආහාරයට ගැනීම සරුබාවය වැඩි කරන්න බලපාන බවයි පිළිගත් මතය.


මධ්‍යධරණී ආහාර වේලක්, ඒ කියන්නේ පලතුරු එළවළු මාලු කුකුල් මස් සහ ඔලිව් තෙල් අඩංගු ආහාර වේලක් සරුභාවයට වඩාත් සුදුසු බවයි බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය. 

නමුත් ඔවුන් ශ්‍රී ලාංකික අපේ ආහාර වේල අධ්‍යයනය කර නැති බව නොකියා බැහැ.
එළවළු පලතුරු මාළු සහ දාන වලින් සමන්විත සමබර ආහාර වේලක් ලබා ගැනීම දරුවෙක් බලාපොරොත්තු වෙන මවකට ඉතාම සුදුසුයි. දරුවකු බලාපොරොත්තු වෙනවා නම් අධික තරබාරුව වළක්වා ගැනීමත් අත්‍යවශ්‍යයි.
ඒ වගේම මධ්‍යසාර සහ දුම් පානය දරුවෙක් බලාපොරොත්තු වෙන කාන්තාවකට හෝ පුරුෂයෙකුට සුදුසු නැහැ. දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් සිගරට් දුමට නිරාවරණය නොවිය යුතුයි. අධික කෝපි පානයක් මදසරු භාවයට හේතුවන බව සොයාගෙන තියෙනවා.
ඔබ විටමින් අතිරේක ලබා ගන්නේ නම් එය වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතුයි.

මැලේරියාව




"ආ..සිරිසේන මහත්තයා කාලෙකට පස්සේ මොකද මේ පැත්තේ....?"
"නෑ, doctor..... මමයි නෝනයි මේ සැරේ ඉන්දියාවේ යන්න කියලා."
"ආ...හා.....බොහොම හොඳයි ඒ තීරණය"..
"ඉතින් Doctor... අපි හිතුවේ යන්ඩ කලින් Doctor මුණගැහිලා මොනවහරි බෙහෙතක් ගෙනියන්න ඕනෙද, මොනවද බෙහෙත් බීලා යන්න ඕනෙ කියලා දැනගන්න."
"බොහෝම හොඳයි.... මැලේරියාව වලක්වන බෙහෙත් ගත්තද ඔය දෙන්නම? ඉන්දියාව කියන්නේ මැලේරියා රෝගය තවමත් පවතින රටක්...."
"මැලේරියාව......?දැන් ඒ  ලෙඩේ ලංකාවේ නෑ කියනවනේ මහත්තයා?"
"ඔව්.. සිරිසේන මහත්තයා ලංකාවේ දැන් මැලේරියාව තුරන් කළා කියලා අපිට සහතිකයකුත් හම්බවුණා.... ඒත් මේ රෝගය නැවත ලංකාවේ පැතිරීම වළක්වන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ."

"මැලේරියාව කියන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝගයක්. හරියටම කිව්වොත් ඇනෝපිලිස් (Anopheles sp.) කියන මදුරු විශේෂ වර්ගය හරහා. මැලේරියා පරපෝෂිතයා මදුරුවාගේ ඇඟ ඇතුලේ කාලයක් ගත කරනවා, ඉතිරි කාලය මනුෂ්‍යයකුගේ ඇඟ ඇතුලේ ගත කරනවා. ඒ පරපෝෂිතයා අපේ ඇඟ ඇතුලේ වර්ධනය වෙද්දී තමයි අපිට රෝග ලක්ෂණ ඇතිවන්නේ."

"2012 november මාසෙන් පස්සේ ලංකාව ඇතුලේ මැලේරියා වැළඳුණු රෝගියෙක් හමු වෙලා නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය‍ය සංවිධානය මගින් 2016 වසරේදී අපට මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස සහතිකය හිමිවුණා."
"ඉතින් ඒකනෙ Doctor අපි ඒ ලෙඩේට බයවෙන්න ඕන නෑනේ...?"
"ලංකාව තුල මැලේරියා රෝගය තුරන් කළා තමයි. ඒකට හේතුව මැලේරියා පරපෝෂිතයා ලංකාවේ මදුරුවන් තුළ හමු නොවීම. නමුත් විදේශ සංචාරකයින් හරහා සහ ලාංකිකයන් මැලේරියාව පවතින රටවල් වලට ගමන් කිරීම තුළින් මැලේරියා රෝගය වැළඳුණු පුද්ගලයන් ලංකාවට පැමිණීමේ අවදානමක් කියනවා. එවැනි පුද්ගලයෙක් දෂ්ඨ කිරීම තුළින් මදුරුවන්ට මෙම පරපෝෂිතයා ඇතුල් වීම සහ තවත් අයට බෝවීමට පුළුවන්. එහෙම වුනොත් ආපහු ලංකාව පුරා මැලේරියා රෝගය පැතිරෙන්න පුළුවන්. මොකද, මැලේරියාව වාහක මදුරුවා ලංකාවේ ඉන්නවා."
"ඊට අමතර ව මැලේරියා වාහක Anopheles stephensis කියන අළුත් මදුරු විශේෂය ලංකාවෙන් හමු වෙලා තියෙනවා. මෙයා ඉන්දියාවෙන් ලංකාවට පැතිරුණු විශේෂයක් කියලයි හිතන්නේ. එයා දරුණු මැලේරියා වාහකයෙක්. ඒ නිසා මැලේරියා ආසාදනය වූ  එක පුද්ගලයෙක් නිසා නැවත ලංකාව පුරාම මැලේරියාව ව්‍යාප්තවීමේ අවදානමක් තියෙනවා."
"ඉතිං, Doctor මැලේරියාව කියන්නේ අපි එච්චරම බය වෙන්න ඕනෙ ලෙඩක්ද?"
"හ්ම්..... ඔව් 1934 -1935 කාලෙදි ලංකාවේ මැලේරියාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. අඩුම තරමේ මිලියන පහක තරම් පිරිසකට රෝගය වැළඳුණා. ඒ වගේම එයින් 85000 තරම් පිරිසක් මිය ගියා... අවුරුදු 30ක යුද්දෙන් වත් ලංකාවේ එච්චර පිරිසක් මියගියේ නැහැ. 1964 වෙනකොට මැලේරියාව ලංකාවේ අවුරුද්දකටම වාර්තා වුණේ රෝගීන් දාහත් දෙනෙක් පමණයි. අපි හිතුවා අපිට ඒ කාලෙදිම මැලේරියාව තුරන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් මැලේරියාව නැවත හිස ඔසවලා 1987 වෙනකොට අවුරුද්දට රෝගීන් ලක්ෂ හතරක් පමණ වාර්තා වෙන මට්ටමට එය වර්ධනය වුණා. ඉතින් ඒකයි අපි මේ වෙලාවෙදි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනෑ."
"මැලේරියාව සමකාසන්න රටවලට බලපාන ප්‍රශ්නයක්. අප රට වටේම තියෙන රටවල් වලට එය දැඩි හිසරදයක්. ඒ රටවල් වලින් නැවත මේ රෝගය අපිට එන්න පුලුවන් නිසා අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනෑ."
"මැලේරියාව වැළඳුනොත් ඒවැඩිපුරම බලපාන්නේ ගොවිතැන් කරන තරුණ වයසේ අය සහ වැඩ කරන්න පුළුවන් වයසෙ අය. ඒක රටේ ආර්ථිකයට ලොකු බලපෑමක්. අනික ඒක සංචාරක කර්මාන්තයටත් නරක විදිහට බලපාන්න පුළුවන්."
"ඒ නිසා ලංකාවේ මැලේරියාව නැවත හිස ඔසවන්න ඉඩ නොදීම අපි කාගෙත් වගකීම."
"ඉතින් ඩොක්ටර් අපි මොකද ඒ ගැන කරන්න ඕනේ......?"
"සිරිසේන මහත්තයා ඉන්දියාවේ යන්න කලින් මාව හම්බවෙන්න ආවා නේ.... ඒක තමා පළමු සහ වැදගත්ම පියවර. අපි පිටරටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍යවරයෙක් මුණගැහිල මොනාද අපි ගත යුතු ප්‍රතිකාර කියලා දැනුවත් වෙන එක වැදගත්."



" මේ විස්තර ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයට කතා කරලා දැන ගන්නත් පුළුවන්. ඊට අමතරව ළඟම රෝහලෙන් හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හරි පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් හරි ලබාගන්න පුළුවන්. ඒ බෙහෙත් විදේශ ගමන යන්න සතියකට කලින් ඉඳල ගිහින් ආවට පස්සෙ සති හතරක් යනතුරු සතියට වතාවක් ගන්න ඕනේ."
"ඒ වගේම ගිහින් ආවට පස්සේ අවුරුද්දක් වගේ යනකල් උනත් හරි ඒ සම්බන්ධ අසනීපයක් හැදුනොත් ප්‍රතිකාර වලට යොමු වීමේදී ඔබ විදේශ රටකට ගිය බව වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමත් ඉතාමත් වැදගත්. මොකද ඒ අසනීප තත්වය මැලේරියාව විය හැකි නිසා."

වැඩි විස්තර....
Anti-Malaria Campaign
Ministry of Health
555/5 Elvitigala Mawatha
Colombo-5
Phone- 011-2588408/2368173/2581918
Fax- 011-2368360
Hotline- 0117 626 626

කුඩා දරුවෙකුට හොඳම තෑග්ග

පොඩි දරුවෙකුට තෑග්ගක් ගන්න ගියාම අපේ හිතට එන ලොකුම ප්‍රශ්නය තමයි අපි මොකක්ද ගන්න ඕන තෑග්ග කියලා. 

අපිට හිතෙනවානේ තියන වටිනාම තෑග්ග දෙන්න ඕනි කියලා. ඉතිං දරුවෙකුට අධි තාක්ෂණික Digital මෙවලමක් ලබා දෙන්න පුළුවන් නම්..... එහෙම හිතෙනවා නේද අපිට....? 

නමුත් ඇමරිකාවේ පර්යේෂකයින් ගේ නවතම පරීක්ෂණයකට අනුව, ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ මතය එතරම් නිවැරදි නොවන බවයි.
කුඩා දරුවෙකුට කුඩා කාලයේ දී අවශ්‍ය වන්නේ A,B,C හෝ 1,2,3,4 අයනු ආයනු දැනගැනීමට වඩා සාමාජීය, චර්යාත්මක සහ චිත්තවේගාත්මක කුසලතාවන් වර්ධනය කර ගැනීමයි. මේ සඳහා අධි තාක්ෂණික මෙවලම් වලට වඩා සරල සෙල්ලම් බඩු උදව් වෙනවා. ඇත්තෙන්ම අධිතාක්ශණික ක්‍රීඩා උපකරණ මෙම හැකියාවන් මොට කරන්න දායක වෙනවා කිව්වොත් වඩා නිවැරදියි.


මින් කියවෙන්නේ නැහැ අධිතාක්ශණික ක්‍රීඩා උපකරණ අනවශ්‍යයි කියා. මෙවැනි ක්‍රීඩා උපකරණ, විද්‍යුත් තිර, Smart phone app සමඟ දරුවන් ක්‍රීඩා කරන්නේ නම් වැඩිහිටියෙකුගේ පූර්ණ අවධානය දරුවාට යොමු විය යුතුයි. දරුවා ටීවී එකේ අධ්‍යාපනික වැඩසටහනක් නැරඹුවත් වැඩිහිටියෙකු ඔහු සමග සිටිමින් එම අත්දැකීම ඔහු ග්‍රහණය කරගෙනවාදැයි සැලකිලිමත් වීම වැදගත්. එහිදී දරුවා සමග කතා කරමින් සුහදව එම වැඩසටහන් ඇරඹීම යෝග්‍ය යි. Smart phone app භාවිතයේදී එය දරුවා සමග එකතු වී එම කාර්යයේ නිරත වීම දරුවාගේ යහපතට හේතු වෙනවා. 

අවුරුදු දෙකකට වඩා අඩු දරුවෙකුට නම් අධිතාක්ශණික මෙවලම් අත්‍යවශ්‍යම නැහැ. ඊට වඩා වැඩිමල් දරුවෙකු වුවද මෙවැනි මෙවලම් භාවිතයේදී වැඩිහිටියෙකු සමඟ එම කටයුත්තේ නිරත වීම දරුවාගේ මානසික වර්ධනයට ඉවහල් වෙනවා.


ඇත්තෙන්ම කුඩා දරුවෙකුගේ මානසික වර්ධනයට ඉවහල්වන සෙල්ලම් බඩු අපිට ගෙදරදීම උවත් සාදා ගත හැකියි.

පැරණි ඉංග්‍රීසි කියමනක් තියෙනවා "දරුවකු සෙල්ලම් බඩුවක ආසම කොටස තමයි ඒකෙ ගෙනාපු පෙට්ටිය" කියල. මේ කියමන හරියටම හරි බව තමයි මේ පර්යේෂකයන්ගේ නිගමන වලිනුත් තහවුරු වෙන්නෙ.
ඉතින් ඊළඟ වතාවේ දරුවෙකුට තෑග්ගක් ගනිද්දී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න.....