අත් බෙහෙත්......

    නිමාලි කියන්නෙ අවුරුදු 20 ක තරුණ ගෑණු ලමයෙක්. අයියගෙ විවාහ මංගල්‍ය උත්සවය ලඟ එන නිසා ඇයත් මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.ඒ අතරෙ උත්සවයට අඳින්න හොඳ අඳුමකුත් ගන්න ඕනෙ.යාලුවොනම් කිව්වෙ කර ටිකක් Open කරපු සාරියක් ඇන්දොත් ඇය ලස්සනට හිටීවි කියලයි.රෝස පාට ඒ වගෙ සාරියක් ගේන ඇයත් හිත හිත හිටියෙ.කොහොමත් සල්ලි අයියගෙන් ගන්න  පුළුවන්නෙ.
 ඒත් පොඩි ප්‍රශ්නයක්. නිමාලිගෙ පිටේ ටිකක් ලොකු අළුහම් ලපයක් තියෙනවා. සාරිය ඇන්දොත් ඒක කැතට පෙනෙනවා. ඉතින් මොකද කරන්නෙ. එතනදිත් නිමාලිගෙ උදව්වට ආවෙ යාලුවෙක්මයි. එයා කිව්ව ඔය ප්‍රශ්නෙට පිළියමක්. "කලු අල"  කියන අල වර්ගය දෙහි ඇඹුලෙන් උරච්චි කරල පිටේ ගාන්න.පැය දොලහක් එහෙම තියෙන්න ඇරල උණුවතුරෙන් සෝදල දාන්න. පිළියම යාලුවගෙ වචනෙන්ම කිව්වෙ ඒ විදියට. යාලුවගෙ පුංචි අම්මගෙ පුතා ආයුර්වේද වෛද්‍යවරයෙක් නිසා මේක හරියයි කියල නිමාලිත් හිතුවා.
නිමාලි ඒ කිව්ව විදියටම ප්‍රථිකාරය කලේ ඉක්මනින්ම සුවයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. ටික වේලාවකින් ඒ පැත්තෙ  දැවිල්ලක් දැනුනත් ඇය සිතුවෙ ඒක සාමාන්‍යයි  කියලයි.ඒත් පහුවෙනිදා බලනකොට බෙහෙත ගාපු පැත්ත හොඳටම රතුවෙලා කසන්නත් පටන්ගත්තා..පොඩි බිබිලි ඇවිල්ලා තුවාල මතු උණා. අය්යගෙ wedding එකට ලස්සන ඇඳුමක් අඳින්න හිටය නිමාලිට සාමාන්‍ය ඇඳුමක්වත් අඳින්න අමාරු තරම් තුවාලයක් හදාගන්න උනේ වැඩිදුර නොහිතා කටයුතු කල නිසයි.


    මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවෙනවා.වැඩිදුර නොසිතා මෙවැනි ආලේපන, බෙහෙත් භාවිතය නිසා ජීවිතය උවත් අහිමිව යාමේ අවධානමක් තිබෙනවා.

එමනිසා,.........

  • කිසිමවිටක සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ (ආයුර්වේද හෝ බටහිර) නියමයකින් තොරව හිතුමතේ ප්‍රථිකාර ගන්න එපා.
  • එමෙන්ම ඔබ නොදන්නා බෙහෙතක් ගැන අන් අයට අවවාද දෙන්නත් එපා.
  • ඔබට යම් බෙහෙතකට/ ආහාරයකට ආසාත්මිකතාවක් තිබෙනවානම් හෝ පීනස, හතිය වැනි රෝගවලින් පෙලෙයි නම් හෝ ඒ පිලිබඳව වෛද්‍යවරයා දනුවත් කරන්න. 
  • බෙහෙත් නොවන ආලේපන (රූපලාවන්‍ය කටයුතු වලට භාවිතා වන  ආලේපන, ඩයි වර්ග) පාවිච්චියට පෙර සුලු ප්‍රමාණයක් සිරුරේ යම් තැනක - කණ පිටිපස වැනි- ආලේපකර පැය 24ක් බලන්න. එතන දැවිල්ලක්, රතුවීමක් හෝ යම් වෙනසක් ඇතිනම් එය භාවිතා කරන්න එපා.

  • බෙහෙත් හෝ ඉහත සඳහන් ආලේපන වර්ග පාවිච්චි කරන විට සමේ දැවිල්ලක්, වේදනාවක්, රතුවීමක් හෝ සැක සහිත වෙනසක් සිදුවුවොත් එය නවතා වෛද්‍යවරයෙක් මුන ගැසෙන්න.
  • ආලේපන භාවිතයේදී ලේබලයේ අඩංගු දෑ පිළිබඳ සැලකිලිමත් වන්න.ඔබට ආසාත්මික වන දෙයක් එහි ඇතිනම් එය භාවිතා කරන්න එපා.


  •  "ස්වාභාවික"/ "ආයුර්වේද"/ "වෛද්‍ය විද්‍යාත්මකව නිපදවනලද/තහවුරුකල" වැනි වචනවලින් විස්තර කරල තිබුනත් එය ආරාක්ෂාකාරී යැයි සිතන්න එපා. බොහෝවිට මේවා ප්‍රචාරණ ප්‍රයෝග පමණයි.

උදව්වට අතක්.........

මම මේ BLOG එක ආරම්භ කලේ අපේ සමාජයේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පෝෂණය සහ රෝගාබාධ පිලිබඳ දැනුම ඉහල නංවා වඩා සෞඛ්‍ය සම්පන්න සමාජයකට අපේ ජනතාව යොමු කිරීමටයි.ඒ සඳහා විවේචන ලෙස ඔබගෙන් ලැබුනු අදහස් හා දිරි ගැන්වීම් ඉතා ඉහලින් අගය කරනවා.

    උදව්වට අතක් ලෙස මෙම ලිපිය පල කරන්නෙ උදව්වක් ලබා ගන්න සහ උදව්වක් ලබාදෙන්න.
        උදව්වක් ලබාදීම කියල අදහස් කලේ මේ BLOG එක බලන ඔබගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබා දීමයි. මම වෛද්‍ය වෘත්තිකයෙක්.වසර 3ක පමන සේවා කාලය තුල බොහෝ රෝගීන්ට ප්‍රථිකාර කිරීම සහ සෞඛ්‍ය අඩ්යාපනික වැඩසටහන් මෙහෙයවීම මඟින් යම් දැනුමක් සහ අත්දැකීම් ලැබූවෙක්.එම නිසා ඒ දැනුම ආධාරයෙන් ඔබ්ට පිලිතුරු සැපයිය හැකියැයි සිතනවා.කෙසේ වෙතත් අදාල වෛද්‍ය ප්‍රථිකාරලබා ගැනීමට විකල්පයක් ලෙස එය නොසැලකිය යුතුයි.

ඔබේ ගැටළු පහත විද්‍යුත් ලිපිනයට එවන්න.

            wedhasa@gmail.com

        සිංහල BLOG අවකාශය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල බොහෝ පිරිසක් සිටිනවා.මගේ කාර්යබහුලතාව නිසා අළුත් ලිපියක් ලියන්න කල් ගතවනවා. මේ සම්බන්ධව උනන්දුව ඇති කව් රුන් හෝ සිටිනවනම් ඔවුන්ට ආරාධනා කරනවා ඔවුන්ගේ ලිපි හෝ අදාල BLOG සටහන් වලට යොමුවක්(LINK) මට ලබාදෙන ලෙස.මම ඒ ලිපි හෝ යොමුකිරීම් පල කරන්නම් (අදාල කතුවරයාගේ ලිපියක් ලෙස.)

 
     මේ සම්බන්ධව අනෙක් අය දනුවත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.


දුම් වැටියෙන් තොර දිවියකට........2

 සිරිසේන තවමත් සිගරට් බොනවාද?

වෛද්‍යවරයා එහෙම ඇහුවෙ සිරිපාල කාමරයට පැමිණීමත් සමග
පොඩි සිගරට් ගඳක්ද පැමිණි නිසා.
                               නැහැ මහත්තයෝ, සිරිපාලගේ සුපුරුදු පිළිතුර. දුවනම් අහක බලා ගත්තා.
                                  ඉඳල හිටලවත්? වෛද්‍යවරයා නැවතත්
ඇහුවෙ තත්වය වඩාත් පැහැදිලි කරගන්න. ඒත් සිරිපාලට
සායනයට පැමිණි මුල් දවසෙම සිගරට් බීමේ ආදීනව කියල දුන්නෙ
මේ වෛද්‍යවරයාම නිසා ඒ ගැන වෛද්‍යවරයාට ලොකු සැකයක්
තිබුනේ නෑ.
"ඉඳල හිටල නම් සිගරට් එකක් බොනව මහත්තය" සිරිපාල ඇත්තම
කිව්වා. "දැන්නම් තාත්ත සිගරට් බොන්නෙ ඉඳල හිටල වගේ
මහත්තය". දුවත් සිරිපල බේරන්න ඉදිරිපත් උනා.
                                                 ඉඳල හිටල කිව්වෙ සිරිපාල
දවසට කීයක් විතර බොනවද? වෛද්‍යවරයා ඇහුවෙ 'ඉඳලහිටල'
කියන වචනෙ තේරුම එක එක අයට වෙනස් නිසා. දවසට සිගරට්
දෙකක් තුනක් වගේ තමා මහත්තයෝ. සිරිපාලට අත්ත නොකියා
බැරි වුනා.
                                        ඉතින් කොහොමද සිරිපාල ලෙඩ සනීප
වෙන්නෙ? වෛද්‍යවරයා කෙටියෙන් පැහැදිලි කලා. සිරිපාලගෙ
කැස්ස සනීප නොවෙන්නේ ඒ නිසයි. මේ බව තේරුම් නොගත්ත
සිරිපාලලා ඕනෑ තරම් අප සමාජයේ ඉන්නවා.
                                                     කමක් නෑ සිරිපාල ඔයා අද
ඉඳන් ඔය වැඩේ නතර කරන්න. මම අර ගන්න කිව්ව Inhaler
(ඇදුම , හතිය සඳහා භාවිතා කරන ඖෂධයක්) එක ගත්තද?
       "අර පිටින් ගන්න කිව්ව එකද මහත්තයා? ඒක ගනන් වැඩිනෙ.
හයසිය ගානක් කිව්වා. මට එච්චර වත්කමක් නෑ මහත්තය. ඒක
මෙහෙන් ගන්න බැරිද මහත්තයා.."සිරිපාල තමාගේ අසරණකම
පැහැදිලි කලා.
                  කුලී වැඩ කිරීම ජීවිකාව කරගත් සිරිපාලට එය ලොකු
වියදමක්. මේ අසනීපය නිසා පෙර මෙන් මහන්සි වී වැඩ කිරීමට
නොහැකි වීම තත්වය වඩාත් උග්‍ර කලා. නිවස අසළ ඇඟලුම්
කම්හලක සේවය කරන දරු දෙදෙනෙකුගේ මවක් වූ සිරිපාලගේ
දුවටත් තම පියා වෙනුවෙන් විශාල දෙයක් කිරීමේ හැකියාවක්
නැහැ.
මේ බෙහෙත ඉස්පිරිතාලෙ තිබුනා සිරිපාල, දැන් ඉවරවෙලා.
සිරිපාල වගේ අයටම දීල තමයි ඉවර වෙලා තියෙන්නෙ. මම
සිරිපාලට ලිව්වෙ ෆාමසියෙ තියෙන ගණන් අඩුම බෙහෙත. ඒක
ගන්න පුලුවන්නම් තව ටිකක් ඔය තත්වෙ පාලනය කරගන්න
පුලුවන්. වෛද්‍යවරයා එහෙම කිව්වෙ සිරිපාලගෙ තත්වය අනුව
පූර්ණ සුවයක් ගැන සිතිය නොහැකි නිසා.
                                      මේවා ආණ්ඩුවේ වැරදි. අපිම පත් කරපු
ආණ්ඩු. මේවගේ බෙහෙතකටවත් වියදම් කරන්න බැහැනේ මුන්ට.
සිරිපාලගේ සාධාරණ කේන්තිය පවතින රජය වෙත යොමු විය.
                                                   සිරිපාලට දැන් මේ දෙන
බෙහෙත් වුනත් ෆාමසියකින් ගත්තොත් රු:1500 විතර යනවා.
සමහර බෙහෙත් නම් අපි ලඟ නැති බව ඇත්ත. වෛද්‍යවරයාගේ
අරමුණ වූයේ පරිපාලනය බේරා ගැනීම නොව තත්වය පැහැදිලි
කිරීමයි.                

    
 "සිරිපාල දවසට සිගරට් දෙකකට රු: 40 ගණනෙ මාසයකට රු: 1200 ක් වියදම් කරනවා. ඇයි රු: 600 ක බෙහෙත් ගන්න බෑ කියන්නෙ." වෛද්‍යවරයා කරුණු පැහැදිලි කිරීමක් කලා. සිරිපාල බිම බලා ගත්ත විතරයි. කියන්න පිළිතුරක් ඔහුට නෑ.
                                         ඔහුගේ දුව පමණක් "තාත්තට කිව්වට අහන්නෙ නෑ මහත්තය. හම්බ කරන හැම සතේම සිගරට් වලට වියදම් කළා විතරනේ" ප්‍රකාශ කලේ තම පියා තමන් වෙනුවෙන්ද මුදලක් ඉතිරි නොකිරීමට අප්‍රසාදය පල කිරීමටයි.
                                ඇගේ අප්‍රසාදයේ වරදක් නැති බව හිතෙන්නේ සිරිපාල සිගරට් දුමට වැය කල මුදල ගැන සිතන විට. මීට කලින් ඔහු දිනකට සිගරට් 20 ක් පමණ වසර 20 ක්ම පානය කල කෙනෙකි. ඒ මුදල රු: 20* 20*365*20 ලක්ෂ 29 කට ආසන්න මුදලකි.  (කලින් සිගරට් වල මිල අඩු වුවත් මුදලේ වටිනාකම සැලකූ විට) ඒ මුදල ඔහු ඉතිරි කලා නම් ඒ මුදලින් ඔහුගේ දියණියගේ දිවියද සැපවත් කර , ඔවුන්ගේ දිවිය ආලෝකමත් කල ආඩම්බර තාත්තා කෙනෙක් වෙන්න සිරිපාලටත් තිබුනා.



                             සිරිපාලට වැරදිලා බව සිරිපාලටම තේරුණා.
ඒත්............. මොකද කරන්නේ.. කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
       තිබෙනවා. නමුත් සීමා සහිතයි. ඔහු සිගරට් බීම නතර කලොත් , අඩුම තරමෙ රෝගය උත්සන්න වීමවත් නවතා ගත හැකියි.




                   නමුත් මීට පෙර සිරිපාල මේ නරක පුරුද්දෙන් මිදුනානම්..............  අප අවට මෙවැනි සිරිපාලලා බොහොමයක් සිටිනවා. බොහෝ විට මේ අවධානම ගැන දන්නේ නැතිව නැති නම් ඒ ගැන සැලකිල්ලක් නැතිව.ඔවුන් නිවැරදි මගට යොමුකරන්න අපි කාටත් වගකීමක් තියෙනවා.

දුම් වැටියෙන් තොර දිවියකට........!!!

සිගරට් දුමෙන් දිවිය දැවී යාමට පෙර ......
දුම්වැටිය මදකට වින්දනීය උවත් (සමහරුනට) එය ඔබගේ දිවිය, සෞඛ්‍ය, පවුල, ආර්ථිකය යන සියල්ලම ටික ටික සොරා ගන්නවා. දුම් බීම සිරුරේ සෑම පද්ධතියකටම අනිසි ලෙස බලපානවා. එමගින් හදවත් රෝග, අංශභාගය, විවිධ පිළිකා, ලිංගික අප්‍රාණිකභාවය, මඳසරු බව, ක්ෂය රෝගය, හතිය, ඇදුම වැනි භයානක රෝග බොහොමයකට මග පාදනවා. 
සිගරට් පානය කරන සෑම දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් අඩු වයසින් මිය යනවා. 
සිගරට් දුමෙහි ඇති විශ රසායන 4000 කින් 43 ක් පමණම පිළිකාකාරක ලෙස සොයා ගෙන තිබෙනවා.


        ඒ විතරද දුම්වැටිය නිසා ඔබගේ ආර්ථිකයට පවුල් දිවියට සිදුවන හානිය. එය පසු කලෙක ඔබේ ජීවිතයට ඉතිරි කරන්නේ පසුතැවිල්ලක් විතරමයි. දුම්වැටිය ඔබ දුප්පත් කරලයි. ඔබේ ජීවිතය ඔබගෙන් උදුරා ගන්නෙ. දුම්වැටියට පුලුස්සන ඔබගේ සල්ලි ඔබේ ආදරණීයයන් සඳහා ඉතිරි කලොත් පසු දිනෙක ඔවුන් සමඟ ජීවිතය විඳින්නට ඔබට මුදලුත් ඔබගේ ජීවිතයත් ඉතිරි වේවි.


සිරිසේනගේ කථාව....
   ශ්වසන රෝග සායනයට පැමිණෙන වයස අවු. 55 ක පමණ රෝගියෙකි. ඔහු පැමිණ සිටියේ අවු. 25 ක දුවක සමගය. ඔහු නිතරම කහිමින් අමාරුවෙන් හුස්ම ගනී. මද වේලාවකින් ඔහු ඉල්ලා සිටියේ කැස්ස වැඩි වන නිසා අසළ ඇති විදුලි පංකාව ක්‍රියා විරහිත කරන ලෙසය. දහවල් එකොලහට පමණ තදබදයත්  සමග දහදිය පෙරමින් සිටි අනෙක් අයට මේ ඉල්ලීම සතු‍ටුදායක දෙයක් වූයේ නැහැ.
 අවසන ඔහු අදාල වෛද්‍යවරයා මුණ ගැසුනා.
  ''සිරිසේන කොහොමද දැන් කැස්ස?''
  ''කිසිම අඩුවක් නැහැ මහත්තය. මම මේ පඩිපෙල නැග්ගෙත් හරි මහන්සියෙන්. රෑට පපුව හිර කරනව වගේ. නින්ද යන්නෙත් නෑ.''
     '' ඒකනේ මහත්තය , තාත්තට හරිම සැර කැස්සක් තියෙනව. රෑට තමයි වැඩි වෙන්නේ. ළමයින්ටවත් නිදා ගන්න බැරි තරම් සද්දෙට කහිනව." දුවත් තමන්ගෙ කරදරේ ඉදිරිපත් කලා.
                           වෛද්‍යවරයා සායන සටහන් පිරික්සා බලා හඬ අවදි කලා. කලින්ට වඩා ටිකක්වත් අඩුවක් නැතිද? බෙහෙත් ටික හරියට ගන්නවද?
                            "මොන අඩුවක්ද මහත්තයා? දැන්නම් ඉස්සරටත් වඩා වැඩියි වගේ."  සිරිසේන තත්වය පැහැදිලි කලා.
බොහෝ රෝගවලට සාර්ථක ප්‍රථිකාර ඇති අද කාලයේ සිරිසේනගේ තත්වය වෛද්‍යවරයාට ප්‍රහේලිකාවක්. රෝගියාගේ පෙනහැලි පරීක්ෂා කල වෛද්‍යවරයාටද වැටහුනේ ඔහු බොරුවක් නොකියනා බවයි. හුස්ම ගන්නා විට පෙනහැලිවල නාදය ඉතාමත් නරක් වූ අතර ඔහුගේ පෙනහැලි වල ක්‍රියාකාරීත්වය ඉතා අවම මට්ටමක පැවතුනා. (පඩිපෙල නැගීමටවත් අපහසු තරම් මහන්සියක් ආවේ ඒ නිසයි.)
      මේ සඳහා හේතුවිය හැකි ක්ෂය රෝගය , පෙනහැලි වල පිළිකා වැනි රෝග සඳහා කල පරීක්ෂණ වාර්ථාද සාමාන්‍ය මට්ටම් වල පැවතුනා.
                       වෛද්‍යවරයා නැවත හඬ අවදි කලා. "සිරිසේන හරි පුදුමයිනේ මේ බෙහෙත් හරියට ගන්නවානම් ටිකක් හරි අඩු වෙන්න ඕනනේ".
                               අනේ මන්ද මහත්තය, මේ තරම් කරුම ලෙඩක්. ඉස්සර මම හොඳට මහන්සිවෙලා වැඩ කලා. මීට වඩා හොඳ බෙහෙතක් නද්ද? මට ලියුමක්වත් දෙනවද මහත්තය , වැලිසරටවත් (ජාතික ශ්වසන රෝග පිළිබඳ රෝහල) පෙන්නන්න. ලෙඩේ සුව නොවන්නේ වෛද්‍යවරයාගේ දැනුම අඩුවක් නිසාවත්ද සිරිපාලට එහෙම හිතෙන්න ඇති.
මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම සුදුසු බව වෛද්‍යවරයාට වැටහුනා. ඒත් තව මොකවත් මගහැරුනාද? වෛද්‍යවරයා එහෙමත් හිතුවා.


ඉතිරිය ඊලඟ ලිපියෙන් පවසන්නම්.....