අත දිගේ ගිය පණුවා....

සිරිසේන මහත්තයා ගෙවතු වගාවක් කරගෙන යන දක්ෂ ගොවියෙක්... එයාගෙ වම් අතේ දවස් දෙක තුනක ඉඳන් කැසීමක් තිබුණා. මුලදී ගණන් ගත්තේ නැතත් පස්සේ අතේ ඉදිමීමකුත් අමුතු කැළලකුත් තිබ්බ නිසා, මේක වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ කියලා එයා තීරණය කළා.


"දොස්තර මහත්තයා, මගේ මේ වම් අත කසනවා නේ. හරි අමුතු කැළලකුත් තියෙනවා."
"කෝ බලමු අත....., ආ මේකනම් එච්චරම කලබල වෙන්න ඕනේ දෙයක් නෙවෙයි. සිරිසේන මහත්තයා වගා වැඩ කරනවනේ? පස් එහෙම නිතර අතගානවා නේද? අන්න ඒ වැඩක් කරන වෙලාවක තමයි මේක හැදිලා තියෙන්නේ"
"දරුණු ලෙඩක් ද දොස්තර මහත්තයා...?"
"නැහැ, නැහැ කලබල වෙන්න දෙයක් නැහැ, පස් වල ඉන්න පණුවෙක් අතේ සම සිදුරු කරගෙන අත දිගේ ගිහින්. ඒ ගිය පාර තමයි ඔය සර්පයෙක් ගිය පාරක් වගේ පේන්නේ..."



"අම්මෝ....ඒ කියන්නේ අත කපලා ඒ සතා එලියට ගන්න වේවිද?
"නැහැ, අවශ්‍ය නැහැ. බෙහෙතක් බීල මේක සනීප කරගන්න පුළුවන්."
"ඒ පණුවා මොකෙක්ද Doctor?
"අපි සිංහලෙන් මේ සතාට කියනවා කොකු පණුවා කියලා. (Necator spp, Anzylostoma spp). හැබැයි, මෙයා අපේ සිරුරේ හමුවෙන කොකු පණුවා නම් නෙමෙයි. අපේ සිරුරේ හමුවෙන කොකු පණුවා හම විදගෙන ඇඟ ඇතුළට ඇවිත් වසාග්‍රන්ථි දිගේ පෙනහැලි වලට ඇවිත් පෙනහැලි වලින් උගුර ළඟට ඇවිත් ආහාර මාර්ගයට ගමන් කරනවා. ආහාර මාර්ගයේ බිත්තර දාලා මලපහ එක්ක පිටවෙන බිත්තර පසට එකතු වෙලා, පස්සෙ ඒ බිත්තර පුපුරලා තමා මේ පණුවා හැදෙන්නේ. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්."


"බල්ලො, බළල්ලු වගේ සතුන්ගේ හමුවෙන කොකු පණුවා තමා මේ තත්වයට හේතුව. එයා අපේ හම විදගෙන සිරුරට ඇතුල් වුනාට එතනින් එහාට ගමන් කරන්නට බැහැ ඒ නිසා සම තුළ එහා මෙහා ගමන් කරනකොට තමා ඔය වගේ කැළලක් ඇතිවෙන්නේ."


"අම්මෝ, බය හිතෙනවනෙ දොස්තර මහත්තයා. මේකට බෙහෙත් තියෙනවද ඉතින්....?"
"ඔව් මේකට පණු රෝග සඳහා කරන ප්‍රතිකාරයන් කරන්න ඕනේ. ඊට අමතරව අත කසලා ඉදිමිලා තියෙන නිසා ප්‍රදාහය අඩු කරන ඖෂධයකුත්, ප්‍රතිජීවක ඖෂධයකුත් ගන්න වේවි."
"මේක වලක්වගන්නෙ කොහොමද ඩොක්ටර්...."
"මම කිව්වනේ මේ පණුවාගේ මූලික අවධි එයා ගත කරන්නේ පස තුල. ඒ නිසා පස් එක්ක රාජකාරි කරද්දි අත් ආවරණ භාවිතා කිරීම, මඩ සහිත පසක යනවනම් සෙරෙප්පු, පාවහන් පැළඳීම, එවැනි කටයුතුවලින් පසු අතපය හොඳින් සබන් දමා සෝදා ගැනීම කළ යුතුයි. ඊට අමතරව සුරතල් සතෙක් ඇති කරනවා නම් එයාගේ මළපහ ආරක්ෂිතව ඉවත් කර එකත්, ඒ සතුන්ට පනුබෙහෙත් නිසියාකාරව ලබා දෙන එකත් වැදගත්."
"ගොඩක් ස්තූතියි දොස්තර මහත්තයා....."