දත් මදින්න toothpaste......



දවසට දෙපාරක් වත් දත් මදින්න කියන එක දන්ත වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්. දත් මදින්න දන්තාලේපයක් (toothpaste) එකක් පාවිච්චි කරන එක අපේ පුරුද්දක්.  දන්ත වෛද්‍යවරු නිර්දේශ කරනවා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතය වඩා සුදුසුයි කියලා. එමඟින් දත් දිරා යාම වළක්වන බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.


හැබැයි ෆ්ලෝරයිඩ් කියන්නේ වැඩිපුර ගත්තොත් විෂ වෙන්න පුළුවන් රසායනයක්. දන්තාලේප වෙළඳ දැන්වීම් බලද්දි නම් අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඒගොල්ලො වෙළඳ දැන්වීමෙ පෙන්නන දන්තාලේප තැවරුම වෛද්‍ය නිර්දේශයන්ට වඩා ගොඩක් වැඩියි. 



 ෆ්ලෝරයිඩ් වැඩි උනොත් ඒවා දත් වල, අස්ථි වල තැන්පත් වෙලා ෆ්ලෝරෝසියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්.


එමනිසා න්තාලේප භාවිතයේ දී නිවැරදි ප්‍රමාණය භාවිතා කිරීම වැදගත්. කුඩා දරුවන්ට වැඩිහිටියන්ට තරම් දන්තාලේප ප්‍රමාණයක් භාවිතය සුදුසු නැහැ. ඒ වගේම කුඩා දරුවන් දන්තාලේප ගිලීමටත් වැඩි අවදානමක් තියෙනවා. මොකද නවීන දන්තාලේප වලට රසක් සහ සුවඳක් එකතු කරලා තියෙන නිසා, කුඩා දරුවන් ආසයි ඒ රසට සහ සුවඳට.

ඒ නිසා දන්තාලේප නිවැරදි ප්‍රමාණයක් භාවිතා කිරීම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් සෞඛ්‍යාරක්ෂිතයි.
කුඩා දරුවෙක් ගේ පළමු දත් මතු වූ දා සිට දත් මැදීම ආරම්භ කිරීමට වෛද්‍ය නිර්දේශයයි.  නමුත් ඒ සඳහා දන්තාලේපයක් අත්‍යවශ්‍ය නැහැ. 

වයස අවුරුදු දෙකත් තුනත් අතර දරුවෙකුට දන්තාලේප වී ඇටයක තරම් ප්‍රමාණයක් එකවර දත් මැදීම සඳහා ප්‍රමාණවත්. වයස අවුරුදු තුනත් හයත් අතර දරුවෙකුට කුඩා කඩල ඇටයක් තරම් ප්‍රමාණයක දන්තාලේප එක් වරකට සෑහෙනවා.


වයස හයෙන් පස්සෙ නම් දරුවන්ට දන්තාලේප ගිලීම එපා කියලා අවවාද කරන්න පුළුවන් වගේම ඒ අයට තේරුමක් තියෙන නිසා දන්තාලේප ප්‍රමාණය එතරම් ගැටලුවක් නැහැ. ඒ වුණත් කඩල ඇටයක ප්‍රමාණය ඒ අයටත් ප්‍රමාණවත්.
දරුවන්ට දත් මැදීම කියාදීමේදී මේ කරුණු මතක තබා ගැනීම ඔබට වැදගත් වේවි.

No comments:

Post a Comment