COVID-19 සුලගෙන් පැතිරෙනවා ද?

COVID-19 වෛරස් රෝගය ලෝකයට අලුත් අත්දැකීමක්. ඒ නිසාම ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක මතයන් නිරතුරුවම යාවත්කාලීන වෙනවා.
මෙම රෝගය කෙළ බිඳිති මගින් හා වෛරසය තැන්පත් වූ මතුපිට පෘෂ්ඨයන් මගින් බෝවන වග පිළිගත් මතයක්. ඊට අමතරව එය කුඩා බිඳිති ලෙස වායුගෝලයේ පැතිරී යා හැකි බවටත් දැනට මතයක් ඉදිරිපත් වී තිබෙනවා. වෛරසය කැස්ස හෝ කිවිසුම් යාම ක දී පමණක් නොව කතා කිරීමේදී සහ හුස්ම ගැනීමේදී පවා පැතිරී යා හැකි බවට දැන් විශ්වාස කරනවා.
අනෙක් කාරණය තමයි සමහර පුද්ගලයන් මෙම වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ නොපෙන්වීම. රෝග ලක්ෂණ නොපෙන්වූවත් එම පුද්ගලයාගෙන් වෛරසය තවත් කෙනෙකුට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම වෛරසය පුද්ගලයකුගේ සිරුරට ඇතුල් වී රෝග ලක්ෂණ පෙන්වීමට පෙර සිටම එම පුද්ගලයාගෙන් වෛරසය අනිත් අයට පැතිරී යාහැකි බව දැන් විශ්වාස කරනවා.
සමහර අවස්ථාවලදී රෝගීන් සමග කිසිම සම්බන්ධතාවයක් සොයාගත නොහැකිව, රෝගීන් වාර්තා වෙනවා, ඒ එවැනි රෝග ලක්ෂණ නොපෙන්වූ වෛරස වාහකයෙක් මගින් රෝගී වූ අවස්ථා විය හැකියි.
සිංගප්පුරුවේදී කළ අධ්‍යයනයකදී, පල්ලියක උදේවරුවේ විදේශිකයෙකු වාඩිවී සිටි අසුනක වරුවේ වෙනත් කාන්තාවක් වාඩිවී සිටීමෙන් එම කාන්තාවට වෛරසය වැළඳී ඇති බව තහවුරු වූවා. එම විදේශිකයන් දෙදෙනා කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වූ අය.
ඒ නිසාම ඔබට මුණගැහෙන පුද්ගලයා රෝග ලක්ෂණයක් නොපෙන්වූවත් ඔහු ආසාදිතයකු හෝ වාහකයකු විය හැකි බව මතක තබා ගන්න.
මෙම නිරීක්ෂණ තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින අතර තහවුරු කළ නිරීක්ෂණයක් නොවේ. ඒ කෙසේ වෙතත් හැකිතාක් නිවසටම වී සිටීම, නිවසින් බැහැර යනවනම් මුව ආවරණයක් නිවැරදිව පැළඳීම, නිතර දෑත් සබන් ගා පිරිසිදු කිරීම හා නිතර ගැටෙන ස්ථාන නිවැරදි ආකාරයට නිතර පිරිසිදු කිරීම රෝගය වැළැක්වීමට ඉවහල් වේවි.

COVID -19 සහ පැන්ඩෝරාගේ පෙට්ටගම.....

ග්‍රීක මිත්‍යා විශ්වාස වලට අනුව  පැන්ඩෝරා නම් කාන්තාව දිව්‍ය ලෝකයෙන් ගෙනා පෙට්ටගමක්, දෙවියන්ගේ අණට විරුද්ධව විවෘත කිරීම නිසා ලෝකයට රෝග සහ ව්‍යසන ආ බව පැවසෙනවා.

ඒ කෙසේ වෙතත් මිනිස් ලොවට රෝග කරදරවලින් නම් අඩුවක් නැහැ. එම රෝග ඇති කරන රෝග කාරක අතරින් වෛරස් රෝග ඉදිරියෙන් සිටිනවා.

වෛරස් යනු සජීවි හෝ අජීවී බව පවා විවාදිත කුඩා අණු එකතුවක්. අනිවාර්ය පරපෝෂීන් වන මෙම අණු වලට සජීවී සෛල වලින් තොරව පැවැත්මක් නැහැ. වෛරසයකට, නව වෛරස් අණු නිපදවිය හැක්කේ සජීවී සෛලයකට ඇතුලුවීමෙන් ම පමණයි. 
එම නිසා වෛරස් තම ධාරක ජීවියාට ලොකු හානියක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයට හේතුව ධාරක ජීවියා මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුවහොත් එම වයිරස් කාණ්ඩයටද  පැවැත්මක් නැති වෙන නිසා. ඒ කෙසේ වෙතත් වයිරස් වලට සිදු කළ හැකි හානිය අති විශාල බව මෙම වසංගත තත්ත්වයත් සමඟ අපට වැටහෙනවා.

පරිණාමීය වාසි සමඟ මිනිසා මිහිතලය මත තම අණසක විහිදා අවසානයි. ලෝක ජනගහනය බිලියන 7.8 ක්.
මිනිසුන්ගේ විවිධාකාර හැසිරීම් රටාවන්, දේශගුණික විපර්යාසයන්, ලොව පුරා පැතිරුණු හොඳ මහජන සෞඛ්‍යය ක්‍ර‍රමවේදයක් නොමැතිවීම යන කරුණු නිසා වෛරස් රෝග ලොව බහුල වෙන්න පටන් අරන්. මෙහි බොහොමයක් රෝග සතුන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරස් රෝග.

 එක් වෛරස් කාණ්ඩයක් සාමාන්‍යයෙන් ආසාදනය වන්නේ එක් ජීවී කාණ්ඩයකට පමණයි. එක් ජීවියෙක් තුළ ප්‍රගුණනය වීමේදී මෙම වෛරස් වල ජාන කේතයන් වෙනස් වෙනවා. එලෙස වෙනස් වීම මගින් වෙනත් ජීවියකුට ආසාදනය වීමේ හැකියාව ද ලබාගන්නවා. (මිනිසාගේ ජිනෝමය 1% වෙනස් වීමට වසර මිලියන අටත් ගත වුවත් වයිරසයක ජිනෝමය 1% ගතවීමට ගත වන්නේ දින කිහිපයක් පමණයි. ඒ වෙනස්වීමත් සමගම එම වෛරසයට වෙනත් ජීවී කාණ්ඩයට ආසාදනය වීමේ හැකියාවද ලැබෙනවා විය හැකියි.)

වෛරස් රෝගයක් නිසා මිනිසාට ඇති වූ විශාල ම බලපෑම වාර්තාවෙන්නේ 1918දී. එහිදී පැතිරුණු influenza වසංගතයෙන් මිනිසුන් මිලියන 50 ක් මිය ගියා. (එය වර්තමානයට ප්‍රක්ශේපණය කළොත් මේ කාලයේ මිනිසුන් මිලියන දෙසීයක් මියගියා හා සමානයි). වර්තමානයේ COVID-19 වසංගත තත්ත්වය ද  ලොවටම බලපාන අධි වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එහි දරුණුකම අද අපි අත්දකිමින් සිටිනවා.


ඒ කෙසේ වෙතත් මෙම COVID-19 වෛරසය පැන්ඩෝරාගේ පෙට්ටගමෙන් එලියට ආ එකක් නොවන බව විද්‍යාව අපට පහදා දෙනවා. එම වෛරසයේ  ජාන කේතයන් වවුලන්ට අසාදන වයිරසයක ජාන කේයන්ට බොහෝදුරට සමානයි. එම වෛරස් ආසාදනය පළමුවෙන්ම චීනයේ මාංශ වෙළඳපළක් ආශ්‍රිතව මතු වීමත් එයට වසංගත විද්‍යාත්මක සාක්ෂි සපයනවා. SARS, MERS (මැදපෙරදිග ශ්වසන රෝග සහලක්ෂණ වෛරසය) මෙලෙස වවුලන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ වෛරස් රෝගයන්. එමෙන්ම මෑතකදී ව්‍යාප්ත වූ ඉන්ෆ්ලුවෙන්සා H5N1, H7N9රෝගයන්ද කුකුලන් ආශ්‍රිතව මිනිසාට බෝ උණ වෛරස් රෝගයන්. 


සතුන් ආශ්‍රිතව බෝවෙන වෛරස් රෝග වලට තවත් හොඳම උදාහරණයක් තමයි ඒඩ්ස් රෝගය. ඒඩ්ස් රෝග කාරක HIV වෛරසය අප්‍රිකාවේ වඳුරන්ගෙන් බෝවී ලොව පුරා ව්‍යාප්ත වූ මාරාන්තික වෛරස් රෝගයක්. Nipah වෛරස් රෝගය වවුලන් අධිකව ගැවසෙන ප්‍රදේශවල ඌරන් ඇති කිරීම නිසා වවුලන්ගෙන් ඌරන්ට සහ ඌරන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ රෝගයක්. 

1980 දී මිනිස් ක්‍රියාකාරකම් නිසා ඊඩිස් වර්ගයේ මදුරුවන් ලොව පුරා ව්‍යාප්ත වූ අතර 2014-2016 වසරවලදී  චිකන්ගුන්යා සහ Zika වෛරස් ආසාදනයන් මෙම මදුරුවන් මගින් ව්‍යාප්ත වුණා.
අධික ජනගහන වර්ධනය, වඩාත් පහසු ගමනාගමන ක්‍රම, සනීපාරක්ෂකක්‍රම වල අඩුකම මෙම රෝග ව්‍යාප්තිය පහසු කරනවා. උදාහරණයක් ලෙස 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලොව පුරා පැතිරුණේ දුම්රිය මාර්ග හරහා සහ නාවික ගමනාගමනය හරහායි.
වර්තමානයේ අද එක් රටක ඇතිවන රෝගයක් හෙට තවත් රටක දැකිය හැකි වන තරමට ගමනාගමනය දියුණුයි. නව coronavirus වසංගතයත් සමග 1918 දී සිදු වූදේ නැවත සිදුවනවා දැයි සැකයක් තිබෙනවා. එම වෛරස් රෝග දෙකම ස්වසන මාර්ගයෙන් ව්‍යාප්ත වන අතර මුල් අවස්ථාවේදී දැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර සිටම ආසාදිතයන් ගෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.


මෙම වෛරස් රෝගය වළක්වාගන්න තිබෙන හොඳම ක්‍රමය රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීමත්, මිනිසුන් මිනිසුන් අතර සිදුවන සම්බන්ධතා දුරස්ථකරණයත්. ඒ කෙසේ වෙතත් 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයට මේ ක්‍රියාමාර්ග දෙක තුළින්ම වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වූයේ නැහැ. සැබවින්ම ගතහොත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දශක ගණනාවක් පුරා මිනිසාට ආසාදනය කරමින් තවමත් පවතිනවා. වාසනාවකට අද කාලයේ එමගින් සිදුවන මිනිස් මරණ ප්‍රමාණය අවමයි.

COVID-19 වසංගතය වෛරස් ජාන සහ මානව හැකියාවන් අතර තරගයක්. දිනපතා සිදුවන මරණය දිහා බලන විට virus ජාන අප පසුකර ඉදිරියෙන් සිටින බව පෙනෙනවා. අපේ සැලකිල්ල සහ සුපරීක්ෂාකාරීබව වෛරසය පසුකර යෑමට අපිට උදවු වේවි. හැබැයි අපි ප්‍රමාද විය යුතු නෑ......
(nejm.org/doi/full/10.1056/NEJMp2002106?query=TOC)

COVID-19(SARS-CoV-2) පොඩි ළමයින්ට බලපාන්නෙම නැතිද?

අපි බොහෝ දෙනෙක් දන්නවා මේ වෛරසය වඩාත් දරුණු වෙන්නේ වැඩිහිටියන්ට කියලා. එතකොට මේ රෝගය දරුවන්ට බලපෑමක් ඇත්තෙම නැද්ද? දරුවන්ට ඒ රෝගය බලපාන්නෙ කොහොමද?

2020.01.16 - 2020.02.08 දක්වා චීනයේ wuhan ප්‍රාන්තයේ රෝගය වැළඳුණු දරුවන්   2143 ගැන වාර්තාවක් චීනයේ රෝග නිරෝධායන මධ්‍යස්ථානය (CCDC) මගින් එළිදැක්වූවා.උපතේ සිට වයස අවුරුදු 18 දක්වා දරුවන් එම වාර්තාවට ඇතුළත් වූවා. එයින් දරුවන් 731 පර්යේෂණාගාර වාර්තා අනුව COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඉතිරි දරුවන් සායනික ඉතිහාසය මත COVID -19 රෝගය වැළඳී ඇති ලෙස සලකා ප්‍රතිකාර කළ දරුවන්.
එම දරුවන්ගෙන් 4% රෝග ලක්ෂණ පෙන්වූයේ ම නැහැ.90% සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුවා. දරුණු රෝග ලක්ෂණ පෙන්නුවෙ 5% ක් පමණයි. එයිනුත් දරුවන් 33ක් (0.6%) අසාධ්‍ය තත්ත්වයට ම පත් වූවා. වයස අවුරුදු 14ක එක් දරුවෙක් මියගියා.

එහිදී එල්ල වූ වැදගත්ම කරුණ වූයේ වයස අවුරුදු 1 ට වඩා අඩු කුඩා ළදරුවන්ට මෙම රෝගය ඉතාමත් දරුණු ලෙස බලපෑ හැකි බවයි.
එමෙන්ම කුමන වයසේ දරුවන්ට වුවත් මෙම රෝගය බලපෑම් ඇති කරන බව එමගින් තහවුරු වෙනවා.
එමනිසා නිවසේම රැඳී සිටින්න.... නිවසේ සිටින වැඩිහිටියන් පමණක් නොවෙයි කුඩා දරුවන් පවා මෙම රෝගය නිසා අනතුරේ බව මතක තබාගන්න.



COVID-19(SARS-CoV-2) පැතිරෙන හැටි....

අපි බොහෝ දෙනෙක් දන්නවා මෙම වෛරසය කෙළ බිඳිති මගින් හා  වෛරසය රැඳී ඇති මතුපිට පෘෂ්ඨයන්ගෙන් පැතිරෙන බව. ඒ නිසාම තමයි හැකිතාක් නිවසේම රැඳී සිටින්න, මීටරයක් ඈතින් ඉන්න, නිතර අත සබන් යොදා සෝදන්න, මුව ආවරණයක් පාවිච්චි කරන්න කියලා උපදෙස් ලැබෙන්නේ.....

මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව සිංගප්පුරුවේදී කළ පර්යේෂණයක් එළිදැක්වුණා.... එහිදී රෝග පැතිරීම අවස්ථාවන් තුනක් අධයනය කරලා තිබුණා.(https://www.jwatch.org/na51156/2020/03/23/investigation-three-covid-19-infection-clusters-singapore?query=etoc_jwgenmed&jwd=000013538144&jspc=D)

ඒ අධ්‍යයනය අනුව මෙම වෛරසයේ බීජෞෂණ සමය (Incubation period) දින හතරක් ( දින තුනත් හයත් අතර කාලයක්). ඒ කියන්නේ වෛරසය ඇඟට ඇතුල්වෙලා රෝග ලක්ෂණ පෙන්වන්න ගතවන කාලය දින හතරක් පමණ වෙනවා.

එහිදී එක් රෝගියෙක් ගෙන් එම වෛරසය එකොළොස් දෙනෙකුටම පැතිරිලා තිබුණා. ඒ කියන්නේ වෛරසයේ ආසාදන  හැකියාව ඉහළයි. බොහෝදෙනෙකුට වෛරසය වැළඳී තිබුණේ ස්පර්ශය මගින්... අතට අත දීම, එක කෑම වේල බෙදාගෙන කෑම, සිප වැළඳ ගැනීම වෛරසය පැතිර යාමට හේතුවක් වුණා.
එක් අවස්ථාවකදී රෝගියෙක් වාඩිවී සිටි පුටුවක වෙනත් අයෙකු වාඩි වීම නිසාත් රෝගය පැතිරිලා තිබුණා.


ඒ නිසා වෛරසය පැතිරීම අවම කිරීමට, 

1. නිවසේම රැඳී සිටින්න.
2. නිතර අත සෝදන්න (සබන් යොදා).
3. මීටරයක අවම පරතරය තබා ගන්න.
4. මුව ආවරණයක් නිවැරදිව පළඳින්න...
5. ඔබට කැස්ස, හෙම්බිරිස්සාව, උණ, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, ප්‍රතිකාර ලබාගන්න වෙන්ව සිටින්න.
එම රෝග ලක්ෂණ පවතී නම් ඔබගේ රෝග ඉතිහාසය නිවැරදිව වෛද්‍යවරයාට හෙළි කරන්න.

බඩ අඩුකරගන්න හොඳම ව්‍යායාම

අපි කාගේත් හීනය තමයි සිහින් සිරුරක්. ඒත් ගොඩක් අයට ඒක හීනයක්ම විතරක් වෙන්නෙ, ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා.....

අපි මහත් වෙන්නෙ අපි වියදම් කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ආහාර ලෙස අපි ගන්න නිසා. ඉතින් බර අඩුකරගන්න ප්‍රශ්නයට උත්තරේ හරිම සරලයි. 

අඩුවෙන් කන්න, වැඩියෙන් ව්‍යායාම කරන්න.


කෑම ගැන අපි කලින් කීප වතාවක් කතා කළ නිසා අද ව්‍යායාම යන කතා කරමු.
මේදය දහනය කිරීමට හොඳම ව්‍යායාම....

1. දිවීම....

මේමගින් එකට කැලරි 600-1000ක ප්‍රමාණයක් දහනය කරන්න පුළුවන්. දනහිස් අමාරු තියෙන වැඩිහිටි අයට දිවීම එතරම් පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ධාවනයේදී සිදුවිය හැකි අනතුරු ගැනත් සැලකිලිමත් විය යුතුයි.
දිනපතා ව්‍යායාමයක් ලෙස ධාවනයේ යෙදෙන පුද්ගලයෙක්, ධාවනය අවසානයේ දී පවා සිරුරේ මේදය දහනය වීම සිදුවනවා. එය running afterburn ලෙස හඳුන්වනවා.

2. Water polo....

සිරුරේ මේදය දහනයට උපකාරි වන විශිෂ්ට ක්‍රීඩාවක්. නමුත් ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නැහැ.

3. බයිසිකල් පැදීම.

පැයකට සිරුරේ කැලරි 500ක් 600ක් වගේ දහනය වන හොඳ ව්‍යායාමයක්. දිවීමේදී වගේ දණහිසට සිදුවිය හැකියි හානියත් අවමයි.

4. ශරීර වර්ධන ව්‍යායාම (Calisthenics).

5. Circuit training.

මෙහිදී ව්‍යායාම කිහිපයක් එක දිගට කරන අතර, එම ‍ව්‍යයායාම අවසානයේ දී කෙටි විවේකයක් ලබා නැවත එම ව්‍යායාමයන් එම පියවරවල් අනුගමනය කරමින් සිදු කරයි.

6. ලණු පැනීම (Skipping).

7. ඔරු පැදීම

8. නර්තනය (Aerobic dancing)

10. පිහිනීම.

මෙම ව්‍යායාම වලදී සිදුවන මේද දහනය, මෙම කරුණු මත රඳා පවතිනවා.

1. ව්‍යායාමයේ යෙදෙන කාලය.
2. ව්‍යායාමයේ යෙදෙන වේගය සහ තීව්‍රතාවය.
3. සිරුරේ බර,  ඔසවන බර හෝ උස.

සවායු ව්‍යායාම වලදී, බර ඉසිලීමේ ව්‍යායාම වලට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම සිදුවෙනවා. නමුත් බර ඉසිලීමේ ව්‍යායාම් මගින් සිරුරේ මාංශපේෂි වර්ධනය වෙනවා.එලෙස වර්ධනය වූ මාශ පේශි මගින් වැඩිපුර කැලරි ප්‍රමාණයක් සිරුරෙන් දහනය කිරීමට දායක වනවා. එම නිසා බර ඉසිලීමේ ව්‍යායාමද සවායු ව්‍යායාම සේම සිරුරට වැදගත්.