පොඩි හතියක්......


.හතිය එහෙම නැතිනම් ඇදුම බහුල ශ්වසන රෝගයක්. ඒ වගේම හතිය කියන්නෙ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත යුුතු, දීර්ඝකාලීනව ශරීරයට බලපාන නිධන්ගත රෝගයක්. ජීවිතයේ ඕනෑම වයස් කාණ්ඩයකදීම මේ රෝගය ඇතිවිය හැකි වුවත් බහුලව දකින්න පුළුවන් කුඩා දරුවන් අතර. මේ රෝගය නිසා දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වීමටත්, අධ්‍යාපන කටයුතුවලට අහිතකර ලෙස බලපෑමටත් පුළුවන්. හතිය උත්සන්න වූ අවස්ථාවලදී රෝහල්ගත වී  ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර කලාතුරකින් ජීවිතය අහිමි වීමට පවා හතිය හේතුවක් විය හැකියි.



වාසනාවකට හතිය කියන්නේ නිවැරැදි ප්‍රතිකාර මගින් ඉතාමත් හොඳින් පාලනයක කළ හැකි රෝගයක්.

ඇදුම/ හතිය කියන්නේ මොකක්ද?


ඇදුම යනු පෙනහැලි වල ශ්වාස නාල වල අධි ක්‍රියාකාරිත්වය (Hyper responsiveness)  නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මෙහිදී පෙනහැලි වල ශ්වාසනාලිකා දැඩි ලෙස සංකෝචනය වීම සහ ශ්ලේෂ්මල අධික ලෙස ශ්ස්‍රාවය වීම යන හේතු නිසා, ස්වාස නාලිකා අවහිර වී  ශ්වසනය අපහසු වෙනවා.
මේ නිසා රෝගියාට හුස්ම ගැනීම සහ විශේෂයෙන්ම හුස්ම පිට කිරීම අපහසු වෙනවා.

ඇදුම රෝගීන් බොහෝ විට හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ තද ගතිය, වියළි කැස්ස වැනි රෝග  ලක්ෂණවලින් පෙලෙනවා. මේ රෝග ලක්ෂණ රාත්‍රී කාලයේ දී උත්සන්න විය හැකි අතර රෝග ලක්ෂණ වල තීව්‍රතාවය පාරිසරික සාධක සහ රෝගියාගේ අභ්‍යන්තරික සාධක මත ( මානසික ආතතිය හා පෙනහැලි වල ආසාදන තත්වයන් වැනි)  දෛනිකව වෙනස් වෙනවා. 


ඇදුම රෝගය වර්ග කිහිපයක් ඇති අතර එම රෝග වල ක්‍රියාකාරීත්වයෙහි යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ නිසාම හතිය රෝගය රෝගීන් දෙදෙනෙකුට දෙයාකාරයකට මතුවිමට පුලුවන්.

හතිය උත්සන්න වීමට බලපෑ හැකි සාධක......
01. වෛරස් ආසාදන වැනි ආසාදන රෝග
02. නිවසේ හෝ පාසලේ ඇති අසාත්මීකාරක (දුහුවිලි,මල්වල පරාග හා කැරපොත්තන් වැනි)
04. සිගරැට් දුම සහ වෙනත් දුම් ව්‍යයාම මානසික ආතතිය සමහර ඖෂධ වර්ග (Beta Blocker, NSAIDs)



හතියට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

හතිය රෝගය පාලනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ඖෂධ කාන්ඩය පෙනහැලි වලට ඇදීමට(Inhalers) ගන්නා ස්ටීරොයිඩ් (Steroids) කාණ්ඩයේ ඖෂධයි. මෙම ඖෂධ උරන කරල් (Dry Powder Inhalers) ලෙස හෝ පෙනහැලි වලට උරන කුඩා බිඳිති (Metered Dose Inhalers -MDIs) ලෙස ලබාගත හැකියි. ඇදුම රෝගීන්ට භාවිතා කරන ය ප්‍රධාන ඖෂධය එය වන අතර ඊට අමතරව ඒ සමග එහි සහයට යොදා ගන්නා වෙනත් ඖෂධ කාණ්ඩ කිහිපයක්ම තිබෙනවා.





මෙම ඖෂධ එක් එක් රෝගියාට ගැලපෙන ලෙස නිවැරදිව නිර්දේශ කළ යුතුයි. යම්කිසි රෝගියෙකුට සුදුසු ම ඖෂධය රෝගියාගේ රෝග ලක්ෂණ, අවදානම් තත්වයන්, රෝගියාගේ කැමැත්ත, ඖෂධයේ ආරක්ෂාකාරී භාවය, රෝගියාට වැළඳී ඇති ඇදුම රෝගයේ වර්ගය හ ප්‍රතිකාරවලට යන වියදම  යන සාධක මත තීරණය වෙනවා.

නිවැරදිව ප්‍රතිකාර ගන්නා රෝගියෙකුට.....
01.  කිසිම රෝග ලක්ෂයක් රහිතව දිවා කාලය මෙන්ම රාත්‍රී කාලය ගත කිරීමේ හැකියාව
02. ඵලදායි මෙන්ම ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමේ හැකියාව
03. පෙනහැලි වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය
04. රෝගයෙහි දරුණු රෝග ලක්ෂණ වලින් මිදීමේ හැකියාව ලැබෙනවා....



ඇදුම රෝගයත් සමග සාමාන්‍ය ජීවිතයක් ගතකරන ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නළු නිළියන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් සිටිනවා. ඔවුන් ඇදුම රෝගය සඳහා නිවැරදි ලෙස ප්‍රතිකාර භාවිතා කරමින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු හා වෘත්තීමය කටයුතු වල සාර්ථකව නියැළෙනවා එම නිසා ඔබ ඇදුම රෝගියෙක් නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී ඒ සඳහා නිවැරදිව ප්‍රතිකාරවලට යොමු වීමත් ඒ ප්‍රතිකාර සහ නිර්දේශ වලට අනුගත වීමත් ඉතාමත් වැදගත්.