දියවැඩියාවද? එහෙනම්, උදේට රජෙක් වගේ කන්න....

උදේට රජෙක් වගේ කාලා දවල්ට සාමාන්‍ය මනුස්සයෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා.


 මේ කියමන දියවැඩියා රෝගීන්ටත් සාධාරණ බව නවතම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ බව කවුරු වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Daniela jacubowikz (MD) මහත්මිය ඇතුළු පිරිස සිදුකළ පර්යේෂණයකින්. දියවැඩියා රෝගීන් 28 දෙනෙක් වසර පහක් පුරා අධ්‍යනය කිරීමෙන් අනතුරුව, ඔවුන් මෙම නිගමනයට එළඹිලා තිබෙනවා.
මෙතෙක් කලක් බොහෝදෙනෙක් සිතා සිටියේ දවසේ කැලරි ප්‍රමාණය, වේල් හයකට බෙදෙන සේ සමසමව ආහාර වේල් හයක් ගැනීම දියවැඩියාව පාලනයට සුදුසුම ක්‍රමය බවයි. මෙම පර්යේෂණ ප්‍රතිඵල සමග දවසට වේල් තුනක් ආහාර ගැනීම දියවැඩියා පාලනයට වඩාත් සුදුසු බව තහවුරු වෙනවා. මෙම ආහාර වේල් තුනෙනුත්, වැඩි කැලරි ප්‍රමාණයක් උදේ ආහාරයට ද අවම කැලරි යුතු ප්‍රමාණයක් රාත්‍රී ආහාරයට ද එකතු කරගැනීම දියවැඩියා පාලනයට පිටිවහල් වෙනවා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ එම ආහාර රටාව අපගේ ජෛව කාල හෝරාවට ද අනුකූල වන නිසා එසේ සිදුවන බවයි.
එලෙස ආහාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතාවය පහළ යන අතර දියවැඩියා පාලනයද හොඳ මට්ටමකට පැමිණෙනවා. එමෙන්ම සිරුරේ බර පාලනයට ද එමගින් ඉමහත් පිටිවහලක් වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. අනිත් විශේෂම කරුණ වන්නේ ආහාර වේල් තුනක් ගැනීම තුළින් රුධිරයේ සීනි අඩු වීම නිසා ඇතිවන Hypoglycaemia තත්ත්වය ද මග අවම වන බව  තහවුරු වීමයි. එම නිසා රාත්‍රී ආහාරය කැලරි අවම සැහැල්ලු ආහාර වේලක් ලබාගැනීම පිළිබඳ ඔබ බිය විය යුතු නැහැ.
උදේ ආහාර වේල කාබෝහයිඩ්‍රේට සහ අනෙකුත් පෝෂක නිසි ලෙස අඩංගු හොඳ ආහාර වේලක් ලබාගැනීමත්, රාත්‍රී ආහාරය කැලරි අවම එළවළු, මස්, මාළු අඩංගු සැහැල්ලු ආහාරයකින් සෑහීමට පත් වීමත් දියවැඩියාව පාලනයට මනා පිටිවහලක් වේවි.

එමෙන්ම ඔබට නිර්දේශ කර ඇති ඖෂධ නිවැරදිව භාවිතා කිරීමත්, ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීමත්, වැරදි පුරුදු වලින් ඉවත් වීමත් ඒ වගේම රුධිර සීනි මට්ටම නිසියාකාරව පරික්ෂා කර ගැනීමත් ඉතා වැදගත් බව මතක තබාගන්න......

පෝලියෝ 3 කාණ්ඩය මිහිපිටින් තුරන් කරයි....

පෝලියෝ වෛරස අනු කාණ්ඩ තුන අතරින් තුන්වන කාණ්ඩය ද මිහිපිටින් තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. මෙම වෛරස් කාණ්ඩයට අවසාන වරට වාර්තා වූයේ 2012 වසරේ දී නයිජීරියාවේදීයි.
2015 වසරේ දී පෝලියෝ දෙවන අනු කණ්ඩය ද මෙලොවින් තුරන් කළ බව සෞඛ්‍ය සංවිධානය තහවුරු කළා. ඒ අනුව දැනට ලොව ඉතිරිව පවතින්නේ පෝලියෝ අනුකාණ්ඩ එක පමණයි.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල තවමත් පෝලියෝ වෛරසය හඳුනා ගැනෙනවා. කලින් මෙම වෛරසය අප්‍රිකානු මහද්වීපයෙනුත් වාර්තා වුවත් 2016න්පසු එම පළාත්වලින් ද රෝගීන් වාර්තා වූයේ නැහැ.
මෙම වෛරස කාණ්ඩයන් පොළෝ තලයෙන් ඉවත් කිරීමත් සමගම ප්‍රතිශක්තිකරණ ඖෂධ සඳහා යොදා ගන්නා සක්‍රීය වෛරස් අනුකාණ්ඩයන්ද  ඉවත් කෙරෙනු ඇති. ඒ වෙනුවට අක්‍රිය කරන ලද වයිරස ප්‍රතිශක්තිකරණය සඳහා යොදා ගනු ලබනු ඇති.