COVID -19 සහ පැන්ඩෝරාගේ පෙට්ටගම.....

ග්‍රීක මිත්‍යා විශ්වාස වලට අනුව  පැන්ඩෝරා නම් කාන්තාව දිව්‍ය ලෝකයෙන් ගෙනා පෙට්ටගමක්, දෙවියන්ගේ අණට විරුද්ධව විවෘත කිරීම නිසා ලෝකයට රෝග සහ ව්‍යසන ආ බව පැවසෙනවා.

ඒ කෙසේ වෙතත් මිනිස් ලොවට රෝග කරදරවලින් නම් අඩුවක් නැහැ. එම රෝග ඇති කරන රෝග කාරක අතරින් වෛරස් රෝග ඉදිරියෙන් සිටිනවා.

වෛරස් යනු සජීවි හෝ අජීවී බව පවා විවාදිත කුඩා අණු එකතුවක්. අනිවාර්ය පරපෝෂීන් වන මෙම අණු වලට සජීවී සෛල වලින් තොරව පැවැත්මක් නැහැ. වෛරසයකට, නව වෛරස් අණු නිපදවිය හැක්කේ සජීවී සෛලයකට ඇතුලුවීමෙන් ම පමණයි. 
එම නිසා වෛරස් තම ධාරක ජීවියාට ලොකු හානියක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයට හේතුව ධාරක ජීවියා මිහිතලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුවහොත් එම වයිරස් කාණ්ඩයටද  පැවැත්මක් නැති වෙන නිසා. ඒ කෙසේ වෙතත් වයිරස් වලට සිදු කළ හැකි හානිය අති විශාල බව මෙම වසංගත තත්ත්වයත් සමඟ අපට වැටහෙනවා.

පරිණාමීය වාසි සමඟ මිනිසා මිහිතලය මත තම අණසක විහිදා අවසානයි. ලෝක ජනගහනය බිලියන 7.8 ක්.
මිනිසුන්ගේ විවිධාකාර හැසිරීම් රටාවන්, දේශගුණික විපර්යාසයන්, ලොව පුරා පැතිරුණු හොඳ මහජන සෞඛ්‍යය ක්‍ර‍රමවේදයක් නොමැතිවීම යන කරුණු නිසා වෛරස් රෝග ලොව බහුල වෙන්න පටන් අරන්. මෙහි බොහොමයක් රෝග සතුන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරස් රෝග.

 එක් වෛරස් කාණ්ඩයක් සාමාන්‍යයෙන් ආසාදනය වන්නේ එක් ජීවී කාණ්ඩයකට පමණයි. එක් ජීවියෙක් තුළ ප්‍රගුණනය වීමේදී මෙම වෛරස් වල ජාන කේතයන් වෙනස් වෙනවා. එලෙස වෙනස් වීම මගින් වෙනත් ජීවියකුට ආසාදනය වීමේ හැකියාව ද ලබාගන්නවා. (මිනිසාගේ ජිනෝමය 1% වෙනස් වීමට වසර මිලියන අටත් ගත වුවත් වයිරසයක ජිනෝමය 1% ගතවීමට ගත වන්නේ දින කිහිපයක් පමණයි. ඒ වෙනස්වීමත් සමගම එම වෛරසයට වෙනත් ජීවී කාණ්ඩයට ආසාදනය වීමේ හැකියාවද ලැබෙනවා විය හැකියි.)

වෛරස් රෝගයක් නිසා මිනිසාට ඇති වූ විශාල ම බලපෑම වාර්තාවෙන්නේ 1918දී. එහිදී පැතිරුණු influenza වසංගතයෙන් මිනිසුන් මිලියන 50 ක් මිය ගියා. (එය වර්තමානයට ප්‍රක්ශේපණය කළොත් මේ කාලයේ මිනිසුන් මිලියන දෙසීයක් මියගියා හා සමානයි). වර්තමානයේ COVID-19 වසංගත තත්ත්වය ද  ලොවටම බලපාන අධි වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එහි දරුණුකම අද අපි අත්දකිමින් සිටිනවා.


ඒ කෙසේ වෙතත් මෙම COVID-19 වෛරසය පැන්ඩෝරාගේ පෙට්ටගමෙන් එලියට ආ එකක් නොවන බව විද්‍යාව අපට පහදා දෙනවා. එම වෛරසයේ  ජාන කේතයන් වවුලන්ට අසාදන වයිරසයක ජාන කේයන්ට බොහෝදුරට සමානයි. එම වෛරස් ආසාදනය පළමුවෙන්ම චීනයේ මාංශ වෙළඳපළක් ආශ්‍රිතව මතු වීමත් එයට වසංගත විද්‍යාත්මක සාක්ෂි සපයනවා. SARS, MERS (මැදපෙරදිග ශ්වසන රෝග සහලක්ෂණ වෛරසය) මෙලෙස වවුලන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ වෛරස් රෝගයන්. එමෙන්ම මෑතකදී ව්‍යාප්ත වූ ඉන්ෆ්ලුවෙන්සා H5N1, H7N9රෝගයන්ද කුකුලන් ආශ්‍රිතව මිනිසාට බෝ උණ වෛරස් රෝගයන්. 


සතුන් ආශ්‍රිතව බෝවෙන වෛරස් රෝග වලට තවත් හොඳම උදාහරණයක් තමයි ඒඩ්ස් රෝගය. ඒඩ්ස් රෝග කාරක HIV වෛරසය අප්‍රිකාවේ වඳුරන්ගෙන් බෝවී ලොව පුරා ව්‍යාප්ත වූ මාරාන්තික වෛරස් රෝගයක්. Nipah වෛරස් රෝගය වවුලන් අධිකව ගැවසෙන ප්‍රදේශවල ඌරන් ඇති කිරීම නිසා වවුලන්ගෙන් ඌරන්ට සහ ඌරන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ රෝගයක්. 

1980 දී මිනිස් ක්‍රියාකාරකම් නිසා ඊඩිස් වර්ගයේ මදුරුවන් ලොව පුරා ව්‍යාප්ත වූ අතර 2014-2016 වසරවලදී  චිකන්ගුන්යා සහ Zika වෛරස් ආසාදනයන් මෙම මදුරුවන් මගින් ව්‍යාප්ත වුණා.
අධික ජනගහන වර්ධනය, වඩාත් පහසු ගමනාගමන ක්‍රම, සනීපාරක්ෂකක්‍රම වල අඩුකම මෙම රෝග ව්‍යාප්තිය පහසු කරනවා. උදාහරණයක් ලෙස 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ලොව පුරා පැතිරුණේ දුම්රිය මාර්ග හරහා සහ නාවික ගමනාගමනය හරහායි.
වර්තමානයේ අද එක් රටක ඇතිවන රෝගයක් හෙට තවත් රටක දැකිය හැකි වන තරමට ගමනාගමනය දියුණුයි. නව coronavirus වසංගතයත් සමග 1918 දී සිදු වූදේ නැවත සිදුවනවා දැයි සැකයක් තිබෙනවා. එම වෛරස් රෝග දෙකම ස්වසන මාර්ගයෙන් ව්‍යාප්ත වන අතර මුල් අවස්ථාවේදී දැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර සිටම ආසාදිතයන් ගෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.


මෙම වෛරස් රෝගය වළක්වාගන්න තිබෙන හොඳම ක්‍රමය රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීමත්, මිනිසුන් මිනිසුන් අතර සිදුවන සම්බන්ධතා දුරස්ථකරණයත්. ඒ කෙසේ වෙතත් 1918 පැතිරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගයට මේ ක්‍රියාමාර්ග දෙක තුළින්ම වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වූයේ නැහැ. සැබවින්ම ගතහොත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දශක ගණනාවක් පුරා මිනිසාට ආසාදනය කරමින් තවමත් පවතිනවා. වාසනාවකට අද කාලයේ එමගින් සිදුවන මිනිස් මරණ ප්‍රමාණය අවමයි.

COVID-19 වසංගතය වෛරස් ජාන සහ මානව හැකියාවන් අතර තරගයක්. දිනපතා සිදුවන මරණය දිහා බලන විට virus ජාන අප පසුකර ඉදිරියෙන් සිටින බව පෙනෙනවා. අපේ සැලකිල්ල සහ සුපරීක්ෂාකාරීබව වෛරසය පසුකර යෑමට අපිට උදවු වේවි. හැබැයි අපි ප්‍රමාද විය යුතු නෑ......
(nejm.org/doi/full/10.1056/NEJMp2002106?query=TOC)

No comments:

Post a Comment