සීසර් කෙරුවොත් දරුවාට දියවැඩියාව හැදෙන්න පුළුවන්.....?


මේ ආන්දෝලනාත්මක සොයාගැනීම කරල තියෙන්නෙ එංගලන්තයේ කළ පර්යේෂණයකදී. එහිදී හෙළි වුණේ සීසර් සැත්කම මගින් බිහිවූ ගැහැණු දරුවන් පසුකාලීනව ස්ථූලතාවයෙන් හා දියවැඩියාව රෝගයෙන් පෙලීමට වැඩි හැකියාවක් ඇති බවයි.

මෙහිදී 1946 -1964 අතර කාලයේ ඉපදුනු ගැහැණු දරුවන් 33226ක් පර්යේෂණයට යොදා ගැනුණා. එම දරුවන් 2013 - 2015 දක්වා වසර දෙකකට වරක් පරීක්ෂා කෙරුණා. මෙහිදී හෙළි වූයේ සාමාන්‍ය දරු උපතක් ඇති ගැහැණු දරුවෙක්ට වඩා සීසර් සැත්කම් මඟින් ඉපදුනු ගැහැණු දරුවන් ස්ථුලතාවයට හා දියවැඩියා රෝගයට ලක් වීමට වැඩි අවදානමක් ඇති බවයි.

සාමාන්‍ය දරු උපතකින් ඉපදෙන දරුවෙකුට වඩා සීසර් සැත්කම් මගින් ඉපදෙන දරුවකු දීර්ඝකාලීන ගැටලූවලට ලක් විය හැකි බවට විද්‍යාත්මක මතයක් මෑතකදී ඉදිරිපත් වෙලා තිබුණා. මෙම පරීක්ෂණය එම මතය තවත් තහවුරු කරන්නක්.

එහෙම වෙන්නෙ කොහොමද?

දරුවෙකු සාමාන්‍ය උපතකදී මවගේ යෝනි මාර්ගය හරහා දරු උපත සිදුවන විට මවගේ සිරුරේ සාමාන්‍ය බැක්ටීරියාවන් දරුවාගේ ආහාර මාර්ගයට ඇතුළු වෙනවා. මෙම බැක්ටීරියාවන් සහබෝජීන් සහ සහජීවීන් ලෙස ජීවත්වෙමින් සිරුරට ආරක්ෂාවක් ඇති කරනවා. නමුත් සිසේරියන් සැත්කමකින් පදින දරුවෙකුගේ ආහාර මාර්ගයට ඇතුළු වන්නේ සාමාන්‍ය පරිසරයේ (හෝ රෝහල් පරිසරයේ) සිටින බැක්ටීරියාවන්. ඔවුන් මිනිස් සිරුර හා සහජීවනයක් දැක්වීම බලාපොරොත්තු විය නොහැකියි. මෙය සනීපාරක්ෂා සිද්ධාන්තය (Hygene theory) ලෙස හැඳින්වෙනවා.

එතකොට සීසර් කරන්න හොඳම නැතිද?

මෙම පර්යේෂණ වාර්තාව නිසා අපි එතරම්ම කලබල විය යුතු නැහැ. මෙම පර්යේෂණයේත් දුර්වලතා තියෙනවා. මෙම දරුවන් ද සිසේරියන් සැත්කමට ලක් කළේ ඇයි කියන හේතුව හරියටම පැහැදිලි නැහැ. ඒ වගේම මෙම පරීක්ෂණ නිරීක්ෂණ මට්ටමේ පර්යේෂණයක්. මෙම නිරීක්ෂණය තවත් පර්යේෂණ අවස්ථා කීපයකින් තහවුරු කරගත යුතුයි.

ඒ නිසා වෛද්‍යවරයෙක් වෛද්‍යමය හේතු නිසා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කළ යුතුයි කියලා තීරණය කළොත් එයට විරුද්ධ වීම බුද්ධිමත් තීරණයක් නොවේ. නමුත් සාමාන්‍ය දරු උපතකට ඇති බිය නිසා වෛද්‍යවරයා ගෙන් සිසේරියන් සැත්කමක් ඉල්ලා සිටීමට පෙර මේ ගැනත් අවධානය යොමු කළ යුතුයි.


No comments:

Post a Comment