ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු!


  මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයේ සිට ලුණු ආහාර රසකාරකයක් ලෙස වැදගත්කමක් උසුලනවා. ලුණුවල සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයක් වන සෝඩියම් (Sodium /Na) අඩංගුයි.
           සාමාන්‍යයෙන් සිරුරේ සෝඩියම් පරිවෘත්තිය ඉතා නිවැරදිව සිදු වෙනවා.
     සිරුරට අවශ්‍ය සෝඩියම් ප්‍රමාණය අපගේ ආහාර වේල මඟින් සැපයෙනවා. නමුත් නිතර දහඩිය දමන ‍රැකියාවන්හි නිරතවන්නන් වැඩිපුර සෝඩියම් ලබාගත යුතුයි.
       සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට ලුණු 5g
(ලුණු කුඩු තේ හැන්දක ප්‍රමාණය) වඩා අඩුවෙන් භාවිතා කල යුතුයි.
 
 ආහාරයට ලුණු එක් වන ක්‍රම.............
* අප ගන්නා සෑම ආහාරයකම ස්වාභාවික ලුණු සුළු ප්‍රමාණයක් අඩංගු වේ.
* ආහාර පිසීමේදී එක් කරන ලුණු.
* කෑම මේසයේදී ආහාරයට එක් කරන ලුණු.
* වානිජමය ලෙස ආහාර සැකසීමේදී (සැකසූ ආහාර) එක් කරන ලුණු.
     උදා : කරවල , උම්බලකඩ , බේකන් , සොසේජස් , බටර් , මාජරින් , මාමයිට් , වෙජිමයිට් , සෝස් , බිස්කට් , අච්චාරු වර්ග. 
 

ලුණු භාවිතය සීමා කල යුත්තේ ඇයි?
 
    ලුණු භාවිතය අවම කිරීම සහ පොටෑසියම් බහුල ආහාර (එළවළු සහ පලතුරු) වැඩිපුර ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කිරීමට හේතු වෙනවා. 

එම නිසා අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නන් ලුණු භාවිතය අවම කල යුතුයි.
       ලුණු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් සිරුරේ කැල්සියම් ඉවත් වීම අධික වන නිසා සිරුරේ කැල්සියම් අවශ්‍යතාවයද ඉහල යයි.
   වයස යාමත් සමඟම ලුණු මඟින් සිරුරේ රුධිර පීඩනය ඉහල යෑමේ අවධානම වැඩි වන නිසා වැඩිහිටි පුද්ගලයන්ගේ ලුණු භාවිතය අවම කිරීම ඉතා සුදුසුයි.


 ඇයි මේ අයඩීන් එක් කල ලුණු?
      අයඩීන් තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය සාධකයකි.
තයිරොක්සින් හෝමෝනය සිරුරේ කායික සහ මානසික මනා ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. අයඩීන් ඌනතාවය මන්ද බුද්ධික දරුවන් බිහිවීමට , ළමයින්ගේ වර්ධනය අඩු වීමට හේතු වෙනවා.
  මෙම නිසා අයඩීන් එක්කල ලුණු භාවිතයට ගත යුතුයි.
 

ලුණු වල ඇති අයඩීන් හානි වීම වලක්වන්නේ කෙසේද?
* ලුණු අඳුරු පැහැ බෝතලයක තබන්න.
* සෑම විටම රස්නය අඩු (ලිපට හෝ උඳුනට ඈතින්) ස්ථානයක ලුණු බෝතලය තබන්න.
* ලුණු භාවිතයට පෙර සේදීමෙන් වලකින්න.
* කෑම පිසීමෙන් පසුව හෝ ආහාරයට ගැනීමේදී ලුණු එකතු කරන්න.
  

ලුණු භාවිතය අඩු කරන්නේ කොහොමද?
  • ආහාර පිසීමේදී එකතුකරන ලුණු ප්‍රමාණය අඩුකරන්න.ඒ වෙනුවට තුනපහ සහ අනෙකුත් රසකාරක  (කරපිංචා, රම්පෙ වැනි) එක්කර ආහාරයේ රසය වැඩිකරගන්න.
  • නිතරම සැකසූ ආහාර වෙනුවට නැවුම් ආහාර (පලතුරු, එළවළු, මාළු, කිරි, බිත්තර සහ මස් වර්ග) ආහාරයට ගන්න (අලුත් මාළු, මස් වර්ග වල අඩංගු ලුණු ප්‍රමාණය සැකසූ හෝ ටින්කල මාංශමය ආහාරවලට වඩා අඩුය).
  • ටින්කල ආහාර ගැනීමේදී සෑමවිටම එකතුකල ලුණු අවම හෝ ලුණු එක් නොකරන ලද ආහාර ගන්න.

  • සෝස්, අච්චාරු, ලුණුදෙහි, චට්නි, මස්ටඩ් ක්‍රීම් වැනි ලුණු අධිකව එක්කල ආහාර භාවිතය අවම කරන්න.
  • වෙළඳපලේ ඇති ස්නැක්, ක්‍රිස්ප්, පොටැටෝ චිප්ස් වලට වඩා අතරමැද සැහැල්ලු ආහාර ලෙස පලතුරු සහ එළවළු ආහාරයට ගන්න.ඔබේ දරුවාට ඒවා පුරුදු කරන්න.
  • සැකසූ අහාර නිෂ්පාදනයේදී ඒවාට අධිකව ලුණු එක්කරනබව මතක තබාගන්න. එමනිසා නැවත ලුණු එකතු කිරීම අවම කරන්න.
 

  • ලුණු රසය අපට පුරුදු වී ඇති රසයක් බව මතක තබා ගන්න. එම නිසා කුඩා ළමයින්ගේ සහ ළදරුවන්ගේ ආහාර ලට ලුණු එකතු කිරීම ප්‍රමාද කරන්න. එකතු කරන ලුණු ප්‍රමාණය අවම කරන්න. එවිට ඔවුන් අඩු ලුණු රසයකට හුරු වන අතර එයින් සෑහීමකට පත් වෙනවා.

 

3 comments:

  1. වටින අදහස් ටිකක් .

    ReplyDelete
  2. ලුනු කියන්නෙ රටවල් පෙරලපු රටවල් හදපු අතිවිශිශ්ඨ රස කාරකයක් , මුදල් වෙනුවට හුවමාරු වූ අතීතයේ ඉතා දුර්ලභ දෙයක් මිනිසුන් දේවත්වයෙන් සැලකූ දෙයක් .
    ( Sameera )

    ReplyDelete
  3. ස්තූතියි ගිම්හානි!

    ඔබ නිවැරදියි Sameera.ඒත් එය එසේ වූ පමණින්ම අප සීමා රහිතව ලුණු ආහාරයට ගත යුතු නැහැ නේද?

    ReplyDelete