ගර්භණී සහ කිරි දෙන මවට වැඩි පුර ආහාර 2

ගර්භණී සහ කිරි දෙන මවට වැඩි පුර ආහාර 2

ගර්භණී සහ කිරි දෙන මව්වරුන් ආහාර ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. කුඩා දරුවා පෝෂණය සඳහා මව මත පමණක් යැපෙන නිසා මවගේ පෝෂණ ඌනතාවයන් කුඩා දරුවන්ට අහිත කර ලෙස බලපානවා. මෙම කාලයෙදී ආහාර පිළිබඳ සැලකිලිමත් වීම බබාගේ නීරෝගී වර්ධනයට මෙන්ම බබා ලැබීමෙන් පසු මවට ඇති වන පෝෂණ ඌනතාවයන් ද වැළැක්වීමට වැදගත් වනවා.
 
ඔබත් නිරෝගී දරුවෙක් බලාපොරොත්තු වන්නේ නම්...............
 
ඝර්භනී වීමට පළමුවෙන් සිරුරේ උසට ගැළපෙන බරක් පවත්වා ගැනීම ඉතාම  වැදගත් වේ( නිවැරදි BMI අගයක්  පවත්වා ගත යුතු
). ඝර්භනී වීමට පෙර  සිරුරේ නිවැරදි බරක් පවත්වා නොගැනීම ඝර්භනී සමය තුළ විවිධ ගැටළු (සංකූලතා)  ඇති කිරීමට හේතු වෙනවා.
          ගර්භණී වීමට ප්‍රථම නිවැරදි බරක් පවත්වා ගැනීම ගර්භණී සමයේදී දියවැඩියාව  වැළඳීමේ අවධානම අඩු කරන අතර , අඩු බර දරු උපත් සහ අධි බර දරු උපත් ද අවම කරනවා. 

ශරීර ස්කන්ධ දර්ශකය  (BMI- Body Mass Index)
BMI  යනු පුද්ගලයාගේ උසට සරිලන බරක් තිබේද කියා දක්වන දර්ශකයකි. එය ඔබගේ බර  කිලෝ ග්‍රෑම් (kg) වලින් ගෙන උස මීටර් (m) වලින් ගෙන එහි වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන අගයයි.

    ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර (kg) / උස (m)* උස(m)
 
ගර්භණී සමයේ දී අත්‍යවශ්‍ය  පෝෂ්‍යපදාර්ථ.........
 
ගර්භණී සමයේ දී විටමින් සහ ඛනිජ ලවණ වැඩි වශයෙන් සිරුරට අත්‍යවශ්‍ය වෙනවා. මෙම පෝෂක නිවැරදි ප්‍රමාණයෙන් මවට නොලැබීම මවට මෙන්ම දරුවාටද අහිතකර ලෙස බලපානවා.
 
ෆෝලික් අම්ලය :-
 
   ෆෝලික් අම්ලය ඌනතාවය කුඩා දරුවාගේ ස්නායු පද්ධතියේ දෝෂ (Spina bifida ) ඇති වීමට හේතු වෙනවා. එම නිසා දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට  ඝර්භනී කාලය පුරාම ෆෝලික් අම්ලය නිවැරදිව ගත යුතුය.
         ෆෝලික් අම්ලය සිරුරේ රුධිරය නිපදවීමට වැදගත් වන නිසා ෆෝලික් අම්ලය නිවැරදි ප්‍රමාණයෙන් ගැනීම රක්තහීනතාවය  (ලේ අඩුකම) වැළැක්වීමට හේතු වෙනවා.
   මෙම හේතු නිසා දරු පිළිසිඳ ගැනීමකට කලින් පටන් (මාස 2ක් 3ක් කලින්) ෆෝලික් අම්ල පෙති (දිනකට එක් පෙත්තක්) ගැනීම ඉතා වැදගත්  වේ. දරුවෙකු පිළිසි‍ඳෙන මොහොත නිවැරදිව දැනගත නොහැකි නිසා දරුවෙක් බලාපොරොත්තු සෑම කාන්තාවක්ම ෆෝලික් ඇසිඩ් පෙත්ත ගත යුතුය. ( මෙය ඔබගේ වෛද්‍යවරයාගෙන් , ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී තුමාගෙන් හෝ ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී තුමියගෙන් හෝ ලබා ගත හැකියි.)
 
යකඩ :-
ගර්භණී
සමයේදී යකඩ අවශ්‍යතාවය ඉහළ  යනවා. මෙම කාලයේදී  මවගේ සහ දරුවාගේ රුධිර වර්ධනයට සහ බබාගේ වර්ධනයට යකඩ වැදගත් වෙනවා.  කෙසේ වෙතත් යකඩ අවශ්‍යතාවය වැඩි වීමට පටන් ගන්නේ ගැබ් ගැනීමෙන් 3 වන මාසයේ සිටයි.
    එමනිසා ගර්භණී සමයේ අවසාන මාස 3 දී සහ කිරි දෙන කාලයේදී යකඩ අවශ්‍යතාවය උපරිම වෙනවා.
      එම නිසා මෙම කාලයේදී යකඩ බහුල ආහාර තම ආහාර වේලකට එක් කර ගැනීම ඉතා වැදගත්. සත්ව ආහාර යකඩ බහුල ආහාර ලෙස සැළකීමට පුළුවන්. ශාකමය ආහාර වල යකඩ අවශෝෂණය අඩු උවත් ආහාරයට විටමින් C අඩංගු ආහාර එක් කිරීම , ධාන්‍ය වර්ග මුල් ඇදෙන තෙක් තබා ආහාරයට ගැනීම මඟින්  යකඩ අවශෝෂණය වැඩි කර ගත හැක.
                 සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ආහාර වේලෙහි යකඩ අඩංගු ප්‍රමාණය අඩු නිසා ඝර්භනී සහ කිරි දෙන මව් වරුන්ට යකඩ  පෙති ලෙස ලබා දෙනවා. 
  • යකඩ පෙති තේ , කෝපි වැනි පානයක් සමඟ ගැනීම යකඩ අවශෝෂණය අඩු කිරීමට හේතුවෙනවා. 
  • එමෙන්ම කැල්සියම් පෙති සහ යකඩ පෙති එක වර නොගත යුතුය. ( පැය 2 වත් පරතරයක් සහිතව ගත යුතුය.)
  • යකඩ පෙති හිස් බඩ ගැනීම මඟින් යකඩ අවශෝෂණය වැඩි කර ගත හැකිය.
       නමුත් සමහරුන්ට යකඩපෙති ගත් විට වමනය වැනි තත්ව ඇති විය හැක. එසේ උවහොත් කෑම ගැනීමෙන් පසු යකඩ පෙත්ත ගැනීම මඟින් එම තත්වය මඟ හරවා ගත හැක.
 මෙම අතුරු ආබාධ , යකඩ රාත්‍රී කාලයේ ගැනීම මඟින් හා පලතුරු යුෂ සමඟ ගැනීම මඟින් අවම කර ගත හැකිය.
       යකඩ පෙති දරු උපතින් පසු මාස 6 ක් දිගටම ගත යුතුය. එමඟින් දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුරේ යකඩ මට්ටම අඩු වීම ( රුධිරය වහනය වීම වැනි හේතු නිසා) යථා තත්වයට පත් කරනවා.

කැල්සියම් (Ca) :-
  ගර්භනී සහ කිරි දෙන කාලයේදී මවගේ කැල්සියම් අවශ්‍යතාවය අධිකය. මව ගන්නා කැල්සියම් ප්‍රමාණය අඩු උවහොත්  දරුවාට අවශ්‍යවන කැල්සියම් මවගේ අස්ථි  දිය කිරීමෙන් ලබාගනී. දීර්ඝ කාලීන කැල්සියම් ඌනතාවය මවගේ අස්ථි දුර්වල වීමට බලපායි.

කැල්සියම් බහුල ආහාර :-
  • මාළු :-කූනිස්සන් , කාර   , කෙළවල්ලා , කුම්බලාවා , හාල් මැස්සන්. ටින් මාළු   
  • රනිල භෝග :- සෝයා, කව්පි
  • මස් වර්ග
  • බිත්තර
  • කිරි සහ කිරි නිෂ්පාදන :- බොන කිරි, චීස්, මුදවපු කිරි, යෝගට්
  • එලවළු :-කතුරුමුරුංගා, තම්පලා, කරපිංචා, මුරුංගා කොළ, මුකුණුවැන්න, නෙළුම් අල, අර්තාපල්
  • පළතුරු :-දිවුල්
  • තල
විටමින් C :-
 
 යකඩ අවශෝෂණය වැඩි කරන අතර කුඩා දරුවාගේ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කරයි. විටමින් C බහුල ආහාර කොටස් 3 ක් දිනකට ගත යුතුය.
 අයඩීන් :- 

සෑම විටම අයඩීන් සහිත ලුණු භාවිත කරන්න.

ගර්භනී සමයේ බර වැඩි වීම.
   මෙම සමයේදී බර වැඩි වීම ක්‍රමානුකූලව සිදු විය යුතුය. පළමු මාසයේදී බර වැඩි වීමක් සිදු නොවිය හැකි අතර සමහර අවස්ථා වලදී බර අඩු වීමද
සිදු විය හැකිය(කෑම අරුචිය හා වමනය නිසා). මෙය දරුවාට අහිතකර ලෙස බලපාන්නේ නැත.
          ගර්භනී කාලයේදී බර වැඩි වීම මවගේ සාමාන්‍ය බර සහ දරුවන් ගණන ( උදා:  නිවුන් දරුවන් ඇති විට බර වැඩි වෙනවා)යන සාධක මත වෙනස් වෙනවා. මෙම කාලයේදී බර වැඩි විය යුතු ආකාරය කලින් දක්වා ඇත. හොඳ උපත් බරක් සහිත දරුවෙක් ලැබීමට ගර්භණී සමයේදී හොඳ බරක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි.
     ගර්භණීසමයේදී බර අධික උවහොත් , එයද මවට සහ දරුවාට අහිතකර ලෙස බලපානවා.
     අධික බර / තරබාරු කාන්තාවන් ශක්ති ජනක ආහාර අඩුවෙන් ගැනීමට සැළකිලිමත් විය යුතුයි. 
  • විශේෂයෙන්ම සීනි , පේස්ට්‍රි , රසකල බීම , තෙල් සහිත ආහාර , බැදුම් වර්ග , ශක්ති ජනක බීම වර්ග , මෝල්ට් අඩංගු පානයන් අවම කල යුතුය. 
  • එමෙන්ම යොදය රහිත ( Non Fat) කිරි වර්ග භාවිතයට ගත යුතුය.

උදෑසන ඇති වන වමනය :-
  උදය කාලයේ පවතින කෑම අප්‍රියතාව සහ වමනය ( වරක් හෝ දෙවරක්)  ගර්භණී සමයේ මුල් මාස 3 දී ඇති විය හැකිය. එය මවගේ හෝමෝන මට්ටම් වල වෙනස නිසා ඇති වන්නක්.
මෙහිදී ,
1) උදෑසනින්ම ( ඇ‍ඳෙන් බැසීමට පෙර) සැහැල්ලු ආහාරයක් ( විස්කෝතුවක් , කෙසෙල් ගෙඩියක් වැනි) ආහාරයට ගන්න.

2) නිතරම (පැය 2 කට වරක් වත්) ආහාර කුඩා ප්‍රමාණ වලින් ගන්න. මෙහිදී වියළි කාබෝහයිඩ්‍රේට් බහුල / පිෂ්ඨමය ආහාර වඩා සුදුසුය. (බිස්කට් වර්ග , වේෆස් විස්කෝතු , ක්‍රීම් ක්‍රැකර් , ඉඟුරු විස්කෝතු , වියළි ධාන්‍ය වර්ග)
3) කුසගින්නේ සිටීමෙන් වළකින්න.
4) ප්‍රධාන ආහාර වේලකින් පැය භාගයකට පමණ පසුව දියර වර්ග බොන්න.
5) එක් වරකට විශාල ප්‍රමාණ වලින් ආහාර ගැනීමෙන් වළකින්න.
6) වමනය ඇති වන ආකාරයේ සැර සුවඳ / රස ඇති ආහාර ගැනීමෙන් වළකින්න.
          කෙසේ වෙතත් අධික ලෙස වමනය ඇති නම් අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. මෙය අවධානම් තත්වයක පෙර නිමිත්තක් විය හැකියි.
මළබද්ධය :-
      මෙම තත්වයද ගර්භනී සමයේදී නිතර දැකිය හැකි තත්වයකි. තන්තු බහුල ආහාර වැඩි වශයෙන් ගන්න. (ධාන්‍ය , රනිල භෝග , පලතුරු , එළවළු)
  • නිතර දියර වර්ග / වතුර පානය කරන්න.
  • සුලු ව්‍යායාමයක් (උදා : ඇවිදීම , පිහිනීම) කිරීම මෙම තත්වය අවම කරනවා.

ගර්භනී සමයේදී වෙළඳපලේ ඇති විශේෂ ආහාර වර්ග (food supplement) ගත යුතුද?
   වෙළඳපලේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා විවිධ ආහාර වර්ග තිබුනද ( විශේෂ කිරි වර්ග) මේවා ගැනීමෙන් මවට හෝ දරුවාට විශේෂ වාසියක් ඇති නොවේ. සමහර විට මේවායේ අධික ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු නිසා මවගේ ආහාර රුචිය අඩු කිරීමට හේතු විය හැක. ඉතා සුළු මුදලකින් පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගත හැකි නිසා මේ සඳහා වියදම් කිරීමේ තේරුමක්ද නැත.

නිතර වතුර බොන්න....
 
ගැබිනි සමයේ ඇති වන මළ බද්ධය (බඩ වේලීම) සහ මුත්‍රා ආසාධන (මුත්‍රා දැවිල්ල) අවම කිරීමට මෙය හේතු වෙනවා. මෙම කාලයේදී දහඩිය දැමීම වැඩි නිසා නිතර ජලය පානය වැදගත්.

ගර්භණී සමයේදී සුවැති ආහාර වැඩිපුර.......

ර්භණී සමයේදී සුවැති ආහාර වැඩිපුර.......

ගර්භණී සහ කිරිදෙන සමයේදී මව්වරුන් තම ආහාරය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.කුඩා දරුවා කුසතුල පිළිසිඳගැනීමේ සිට උපතින් මුල් මාස 6 දක්වා සියලුම පෝෂණ අවශ්‍යතා සඳහා මව මත යැපෙනවා.එමනිසා මවගේ පෝෂණ ඌණතාවයන් දරුවාට දැඩිලෙස බලපානවා.
    මෙම සමයේදී නිවැරදිව ආහාර ගැනීම, සෞඛ්‍යසම්පන්න දරුවකු බිහිකිරීමට මෙන්ම දරු උපතින් පසු මවට ඇතිවන පෝෂණ ඌණතා ලක්ෂණ (උදා:-කොණ්ඩය හැලී යාම, දත් තුනී වීම) වැලැක්වීමටද හේතුවෙනවා.

දරුවෙක් ගැන සිතීමට පෙර.........
දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙරසිටම ඒ සඳහා සුදානම් වීම අතයවශ්‍යයි.ගර්භණී වීමට පෙර සිටම සිරුරේ බර නිවැරදි අගයක (නිවැරදි BMI අගයක්) පවත්වා ගැනීම ඝර්භණී භාවයත් සමග ඇතිවියහැකි බොහෝ සංකූලතා වලක්වනවා (උදා:- අධිරුධිර පීඩනය, දියවැඩියාව, අඩුබර/අධිබර දරු උපත්).

ගර්භණී සමයට ගැලපෙන ආහාර මොනවාද?
මෙම සමයේදී ගතයුතු ආහාර සහ ප්‍රමාණයන් මවගේ ක්‍රියාකාරිත්වය (උදා:- ‍රැකියාව) සහ ගර්භණී වීමට ප්‍රථම සිරුරේ BMI අගය මත වෙනස්වනවා.
එමෙන්ම ගර්භණී සමයේ විවිධ අවස්ථාවන්හිදී පෝෂණ අවශ්‍යතාවයන්ද වෙනස්වනවා. මුල් මාස 3දී පෝෂණ අවශ්‍යතා අවම අතර අවසාන මාස 3දී උපරිමයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩිවෙනවා.
     එමෙන්ම ආහාර ‍තෝරා ගැනීමේදී මුල් මාස 3 තුලදී නිතර ඇතිවන වමනය තත්වය සහ කෑම අප්‍රියතාවයද සැලකිල්ලට ගත යුතුයි.

මෙහිදී......

01) මවගේ බර සුදුසු ලෙස වැඩිවන ආකාරයට ශක්තිජනක 
      ආහාර වැඩිපුර ගත යුතුය.

ගර්භණී සමයේදී බර වැඩිවිය යුතු ආකාරය.

මවගේ BMI අගය (kg/m2)            බර වැඩිවිය යුතු ප්‍රමාණය (kg)

      <18.5 (අඩු බර)                                    12.5 - 18

       18.5 - 24.9 (සාමාන්‍ය)                          11.5 - 16

       25 - 29.9 (අධි බර)                               7 - 11.5

       > 30 (තරබාරු)                                        < 6.8

02) සෑම ආහාර කාණ්ඩයකින්ම සමන්විත ආහාර වේලක් ගත යුතුය.

03) වැඩිපුර වතුර සහ දියර වර්ග බීමට ගත යුතුය (අඩු තරමින් 
       කෝප්ප 8 -10ක් වත්)

04) තන්තු බහුල අහාර වැඩිපුර ගත යුතුය (ගර්භණී සමයේදී 
      නිතර ඇතිවන මළබද්ධය වැලැක්වීම සඳහා).

05)සෑම විටම සෞඛ්‍යසම්පන්න ආහාර ඔබ වඩාත් ප්‍රියකරන 
     කෑම වර්ගවලින් ‍තෝරා ගන්න (මෙම කාලයේදී ඇතිවන 
     ආහාර අරුචිය අවම කිරීමට එය වැදගත් වේ).

06)සෑම දින්කම කිරි වීදුරුවක් හෝ 2ක් (හෝ ඊට සරිලන 
      කිරිආහාර ප්‍රමාණයක්) පානය කරන්න.

07) මද්‍යසාර/ මද්‍යසාර අඩංගු බීම වර්ග සහ දුම්පානය 
      (දුම්පානය කරන්නෙකු අසල සිටීමද අවදානම්) නතර කරන්න.


ගර්භණී සමයේදී දිනකට ගත යුතු ආහාර ප්‍රමාණයන් (ආහාර කොටස්වලින්)....
 
- පිෂ්ඨමය ආහාර කොටස් 8 - 14ක්

-පළතුරු කොටස් 3 - 4ක්

- එළවළු කොටස් 4 - 5ක්

-  කිරි ආහාර කොටස් 1 - 2ක්

- ප්‍රෝටීනමය ආහාර කොටස් 2 - 3ක්

- තෙල් සහිත බීජ වර්ග (තල, රටකජු වැනි) 2 - 4ක්



දිනපතා කිරි ආහාර භාවිතය සුවැති දිවියකට මඟක්..............
කිරි යනු සියලුම වයස් කාණ්ඩයන්ට ගැළපෙන සම්පූර්ණ ආහාරයකි. (මාස 6 ට අඩු දරුවන්ට පමණක් මව් කිරි පමණක් නිර්දේශිතයි.)
                       කිරි ආහාර භාවිතය , ළමයින්ට සහ තරුණයින්ට ඉතාම පෝෂ්‍යදායක වන අතර ඔවුන්ගේ වැඩෙන අස්ථි සහ දත් වර්ධනයට මහෝපකාරී වේ. එම නිසා වෙළඳපලේ ඇති සිසිල් බීම වලට වඩා කිරි බීමට ළමයින් පුරුදු කල යුතුය.

කිරි වල අඩංගු පෝෂක................
විටමින් :-
               කිරි වල විටමින් B සෑහෙන ප්‍රමාණයක් අඩංගු වේ. විශේෂයෙන්ම රුධිර නිශ්පාදනයට සහ ස්නායු ක්‍රියාකාරීත්වයට වැදගත් වන විටමින් B12 අඩංගු වේ. යොදය සහිත කිරි වල විටමින් A යහමින් අඩංගුය. නමුත් යොදය ඉවත් කල (Non fat) කිරි වල විටමින් A හෝ අනෙකුත් මේදයෙහි දියවන (A , D , E , K ) විටමින් ඇත්තේ අවම වශයෙනි.

 ඛනිජ ලවණ :-
              කිරි , අස්ථි සහ දත් වර්ධනයට අත්‍යවශ්‍ය
කැල්සියම් (Calcium) සහ පොස්පරස්(phosphorus) බහුල ආහාරයකි. කිරි කැල්සියම් සිරුරට උරා ගැනීම ද පහසුය. යොදය සහිත හා රහිත ( Non fat)  කිරි වල සම ප්‍රමාණයෙන් කැල්සියම් අඩංගු වේ.කිරි  නිතර භාවිතය මැදිවයසේදී ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳීමේ අවදානම අවම කරයි.

මේදය :-
                කිරි මේදය දෛනික ශක්ති අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වැඩි ශක්ති ප්‍රමාණයක් සපයයි.මේදය අඩු කිරිවල කිරි මේදයෙන් අඩක් පමණ ඉවත් කර ඇති අතර මේදය රහිත කිරි(Non fat) වල කිරි මේදය සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්කර ඇත.
    මේදය රහිත කිරි(Non fat) වැඩිහිටියන්ට, තරබාරු ළමයින්ට, හදවත් රෝගීන්ට සහ කොලෙස්ටෙරෝල් අධික පුද්ගලයන්ට සුදුසුය.නමුත් වැඩෙන ළමයින්ට මේදය රහිත කිරි යෝග්‍ය නොවේ.

සීනි:-
              කිරි වල ඇති සීනි ලැක්ටෝස්(Lactose) සීනි ලෙස ඇති අතර, සාමාන්‍ය භාවිතයේ ඇති සීනි(සුක්‍රෝස්-Sucrose) වලට වඩා දත් දිරා යාමේ අවදානම අවමය.

කිරි ආහාර
මුදවපු කිරි -  

  
    ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතාවන කිරි ආහාරයකි.මිදවූ කිරි වල ප්‍රෝටීන් සහ විටමින් B සංයුතිය වැඩිය.එමෙන්ම මිදවූ කිරිවල ඇති කැල්සියම්(Ca) අවශෝෂණය පහසුය.මීකිරිවල එළකිරිවලට වඩා වැඩි මේදය ප්‍රමාණයක් අඩංගු අතර එමනිසා කිරි වඩා ඝණ ගතියෙන් යුක්තය.

යෝගට් -

    

යෝගට්වල අඩංගු බැක්ටීරියා සිරුරට ඉතා හිතකරය (probiotics).එමෙන්ම කිරිවල අඩංගු පෝශ්‍ය පදාර්ථයන්ද එසේම අඩංගු වේ.

 




චීස් -
 

   චීස්වල  කිරිවල ඇති පෝශ්‍ය පදාර්ථයන් එසේම අඩංගු වේ.නමුත් මේවායේ සංතෘප්ත මේද ප්‍රමාණය අධික නිසා හා  එකතුල ලුනු ඇති නිසා නිතර විශාල ප්‍රමාණවලින් භාවිතය සුදුසු නොවේ.

 



ඔස්ටියෝපොරෝසිස්(Osteoporosis) :-  
    අස්ථි පටක කොටස දියවී යාම මඟින් අස්ථි තුනී වීම නිසා මෙම රෝගය සෑදේ. එම නිසා එම රෝගීන්ගේ අස්ථි ඉක්මනින් බිඳී යාමට ලක් විය හැක. කිරි සහ කිරි ආහාර කුඩා කල සිට ආහාරයට එක් කර ගැනීමෙන් මෙම රෝගය වැළඳීමේ අවධානම අඩු කර ගත හැක.

 

කිරි ආහාර අජීර්ණය (Lactose Intoleranse):-
 
                    මෙම රෝගයෙන් පෙලෙන්නන්ට කිරි සීනි (lactose) දිරවීමට අවශ්‍ය එන්සයිමය අඩුය.එමනිසා ඔවුන්ට කිරි පානය කල විට බඩ පුරවා දැමීම, බඩ බුරුල්කර යාම වැනිදේ ඇතිවේ.
    ඔවුන්ට  කිරි ස්වල්ප ප්‍රමාණවලින් පානය කර(උදා:- වීදුරු කාලක් පමණ) ක්‍රමක්‍රමයෙන් වැඩිප්‍රමාණයක් ගැඊම මගින් මෙම තත්වය සුවකරගත හැක.
    එවැනි අයට යෝගට් සහ මුදවපු කිරි ආහාරයට ගත හැක[කිරිසීනි(lactose) බැක්ටීරියා මඟින් ලැක්ටික් අම්ලයට හරවන නිසා].
    කිරි ප්‍රෝටීන වලට ආසාත්මිකතාවයක් (Milk Protein Allergy)ඇති අයට කිරි ආහාර සුදුසු නොවන අතර සෝයා කිරි හොඳ ආදේශකයෙකි.

දිනකට කිරි ආහාර කොතරම් ගත යුතුද?

    - කිරි වීදුරු 1-2ක් හෝ
    - පිටිකිරි මේස හන්දි 2ක් (එක් වීදුරුවකට) හෝ
    -යෝගට්/ කිරි කෝප්ප 1ක්



කුඩා ළමයින්, තරුණ වයසේ පසුවන්නන්, ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට සාමාන්‍ය කිරි අවශ්‍යතාවය මෙන් දෙගුනයකට වඩා ගත යුතුය.


ශරීර ස්කන්ධ දර්ශකය (BMI - Body Mass Index)


BMI  යනු පුද්ගලයෙකුගේ උසට ගැලපෙන බරක්  තිබේදැයි කියා දක්වන දර්ශකයකි. 
එය ඔබගේ බර කිලෝ ග්‍රෑම් (kg) වලින් ගෙන උස මීටර වලින්( m) ගෙන එහි වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන අගයයි.


   ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර (kg)/උස (m) * උස (m)


 වැඩිහිටියෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය......



  • 18.5 වඩා අඩු නම් - කෙට්‍ටු සිරුරක් සහිත බර අඩු පුද්ගලයෙකි. වැඩිපුර ශක්ති ජනක ආහාර ගැනීම සහ ගැළපෙන ව්‍යායාම අත්‍යවශ්‍යය.

  • 18.5 - 24.9  නිවැරදි උසට ගැළපෙන බරකින් යුක්ත පුද්ගලයෙකි.  සමබර ආහාර වේලකින් සහ ක්‍රමානුකූල ව්‍යායාම මඟින් සිරුරේ බර මෙම මට්ටමේ පවත්වා ගත යුතුය.

  • 25 - 29.9 - අධික බර - සමහර බෝ නොවන රෝග ඇති වීමට වැඩි අවධානමක් ඇත(උදා: දියවැඩියාව , හෘද රෝග ). මනා ආහාර පාලනයක් සහ ව්‍යායාම මඟින් බර අඩු කර ගත යුතුය.

  • >30 - ස්ථූල පුද්ගලයෙකි. අධි බර හා සබැඳුනු රෝගයන්ට දැඩි අවධානමක් ඇත. කෑම පාලනය සහ බර අඩු කර ගැනීමට සුදුසු ව්‍යායාම මඟින් බර අඩු කර ගත  යුතුමය.




ඉනෙහි වට ප්‍රමාණය( waist Circumference).


ඉනෙහි වටප්‍රමාණය උකුල් අස්ථියේ ඉහළම දාරයත් ඉළ ඇට වල  පහලම දාරයත් අතර හරි මැදින්(දළ වශයෙන් නාභිය මට්ටම) සිරුරේ වටප්‍රමාණයයි.

එය උදර බිත්තියේ සහ සිරුරේ තැන්පත්ව ඇති මේදය පිළිබඳ හොඳ දර්ශකයකි.එමනිසා ඉනෙහි වටප්‍රමාණය නිවැරදි මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍යය.

ඉනෙහි වටප්‍රමාණය........

කාන්තාවන්ගේ 80cm (32") වඩා වැඩිනම් 
හෝ
පුරුශයෙකුගේ 90cm (36")  වඩා වැඩිනම්

හදවත් රෝග සහ දියවැඩියාව වැනිබෝ නොවන රෝග වලට ඇති අවදානම වැඩිය.