දියවැඩියාවද? එහෙනම්, උදේට රජෙක් වගේ කන්න....

උදේට රජෙක් වගේ කාලා දවල්ට සාමාන්‍ය මනුස්සයෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා.


 මේ කියමන දියවැඩියා රෝගීන්ටත් සාධාරණ බව නවතම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ බව කවුරු වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Daniela jacubowikz (MD) මහත්මිය ඇතුළු පිරිස සිදුකළ පර්යේෂණයකින්. දියවැඩියා රෝගීන් 28 දෙනෙක් වසර පහක් පුරා අධ්‍යනය කිරීමෙන් අනතුරුව, ඔවුන් මෙම නිගමනයට එළඹිලා තිබෙනවා.
මෙතෙක් කලක් බොහෝදෙනෙක් සිතා සිටියේ දවසේ කැලරි ප්‍රමාණය, වේල් හයකට බෙදෙන සේ සමසමව ආහාර වේල් හයක් ගැනීම දියවැඩියාව පාලනයට සුදුසුම ක්‍රමය බවයි. මෙම පර්යේෂණ ප්‍රතිඵල සමග දවසට වේල් තුනක් ආහාර ගැනීම දියවැඩියා පාලනයට වඩාත් සුදුසු බව තහවුරු වෙනවා. මෙම ආහාර වේල් තුනෙනුත්, වැඩි කැලරි ප්‍රමාණයක් උදේ ආහාරයට ද අවම කැලරි යුතු ප්‍රමාණයක් රාත්‍රී ආහාරයට ද එකතු කරගැනීම දියවැඩියා පාලනයට පිටිවහල් වෙනවා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ එම ආහාර රටාව අපගේ ජෛව කාල හෝරාවට ද අනුකූල වන නිසා එසේ සිදුවන බවයි.
එලෙස ආහාර ගන්නා රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතාවය පහළ යන අතර දියවැඩියා පාලනයද හොඳ මට්ටමකට පැමිණෙනවා. එමෙන්ම සිරුරේ බර පාලනයට ද එමගින් ඉමහත් පිටිවහලක් වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. අනිත් විශේෂම කරුණ වන්නේ ආහාර වේල් තුනක් ගැනීම තුළින් රුධිරයේ සීනි අඩු වීම නිසා ඇතිවන Hypoglycaemia තත්ත්වය ද මග අවම වන බව  තහවුරු වීමයි. එම නිසා රාත්‍රී ආහාරය කැලරි අවම සැහැල්ලු ආහාර වේලක් ලබාගැනීම පිළිබඳ ඔබ බිය විය යුතු නැහැ.
උදේ ආහාර වේල කාබෝහයිඩ්‍රේට සහ අනෙකුත් පෝෂක නිසි ලෙස අඩංගු හොඳ ආහාර වේලක් ලබාගැනීමත්, රාත්‍රී ආහාරය කැලරි අවම එළවළු, මස්, මාළු අඩංගු සැහැල්ලු ආහාරයකින් සෑහීමට පත් වීමත් දියවැඩියාව පාලනයට මනා පිටිවහලක් වේවි.

එමෙන්ම ඔබට නිර්දේශ කර ඇති ඖෂධ නිවැරදිව භාවිතා කිරීමත්, ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීමත්, වැරදි පුරුදු වලින් ඉවත් වීමත් ඒ වගේම රුධිර සීනි මට්ටම නිසියාකාරව පරික්ෂා කර ගැනීමත් ඉතා වැදගත් බව මතක තබාගන්න......

No comments:

Post a Comment