නිර්වින්දනය සහ ඔබේ දරුවා



නිර්වින්දන වෛද්‍යවරයාගේ කාර්යභාරය කුමක් ද ?
නිර්වින්දන  වෛද්‍යවරයා සැත්කමට ප්‍රථමයෙන්, සැත්කම අතර තුර දී මෙන්ම සැත්කම  අවසන්  වූ පසුවද  රෝගියා ආරක්ෂා සහිතව රැක බලා ගනී. ඔබේ නිර්වින්දන වෛද්‍යවරයා මේ පිලිබඳ සුදුසුකම් සපිරි සහ අත්දැකීම් බහුල අයෙකි. එනිසා ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියළුම කාර්යයන් සිදුකරනු ඇත. එමෙන්ම සැත්කමෙන් වේදනාවක් නොදැනෙන සේ සුවපහසු ලෙස සැත්කම සිදු කිරීමට අවශ්‍ය සියළු දේ සිදුකරනු ඇත.
නිර්වින්දන  වෛද්‍යවරයා සැත්කම අවසන් වනතුරුම සෑම විනාඩියකම ස්වසනය, රුධිර සංසරණය සහ වෙනත් වැදගත් සහ අවශ්‍ය කරුණු නිරීක්ෂණය කරයි. සැත්කම අවසන්වූ පසුවද නැවත ප්‍රකෘති සිහිය ලබාගන්නාතුරු ද මෙම නිරීක්ෂණයන් සිදු කරයි.
වේදනා නාශක ලබාදීම සහ වමනය වැනි අනෙකුත් ආභාධ සඳහාද ප්‍රතිකාර කිරීමද නිර්වින්දන වෛද්‍යවරයා විසින් සිදුකරයි.


රෝගී දරුවා සැත්කමට සුදානම් කරන්නේ කෙසේද ?
නිර්වින්දන වෛද්‍යවරයා සැත්කමට ස්වල්ප වෙලාවකට ප්‍රථම ඔබ හමුවෙයි. ඔබේ දරුවට සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඇදුම හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිනම් ඒ පිළිබඳව පවසන්න. සෙලවෙන දත් ඇතිනම් ඒවා ඇති ප්‍රදේශය පිළිබඳව දැනුවත් කරන්න.
ඔබේ දරුවාගේ වෙනත් ආභාධ ඇතිනම් හෝ කලින් නිර්විනදයන් සිදුකර ඇති  නම් හෝ ඔබ විශේෂිත ලෙස සලකන යම්කිසි හේතුවක් ඇතිනම් නොසඟවා වෛද්‍යවරයාට පවසන්න.
දරුවට දැනට බෙහෙත් ලබාදෙන්නේ නම් එම තොරතුරු වෛද්‍යවරයාට ලබාදෙන්න. ඉන්හෙලර් (Inhaler) ගන්නේ නම් සහ අනෙකුත් බෙහෙත් එලෙසම ලබාදෙන්න. වෛද්‍යවරයා යම්කිසි බෙහෙතක් නැවැත්වුවහොත් එය පිළිපදින්න.
බෙහෙත් හෝ ආහාර වලට අසාත්මිකතාවයක් (allergy ) ඇතිනම් ඒ පිලිබඳව පවසන්න. ඇතැම් ළමුන් ප්ලාස්ටර් (Plaster ) වලට අසාත්මිකයි.
සැත්කමට ප්‍රථම නිරාහාරව සිටිය යුතුද?
ඔවි !, ඔබේ දරුවා නිරාහාරව සිටීම අමාරු කාර්යයක් වුවත් සෑම සැත්කමකටම ප්‍රථම එසේ නිරාහාරව සිටිය යුතුයි. එසේ නොවුනහොත් අමාශයේ ඇති ආහාර ස්වසන මාර්ගයේ හිරවී භයානක ප්‍රථිපල ඇතිවිය හැක. නිරාහාරව සිටි විට අමාශයේ ආහාර නොමැති නිසා එවැනි අනතුරක් සිදු නොවේ. සෑම විටම නිර්වින්දන වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.


කොපමණ වේලාවක් නිරාහාරව සිටිය යුතුද ?
1. බත්, පාන් සහ අල වර්ග වැනි ඝන ආහාර සඳහා පැය 6ක්  එමෙන්ම චුවින්ගම් (chewing gum) හෝ ටොෆි සහ කොකා කෝලා, ස්ප්‍රයිට් වැනි කා(ර්)බනේටඩ් බීම සඳහා පවා පැය 6ක් නිරාහාරව සිටිය යුතුයි.
2. මව් කිරි සඳහා පැය 4ක් (එහෙත් අනෙකුත් කිරි සඳහා පැය 6ක්)
3. වතුර සඳහා පැය 2ක්


සැත්කම සිදුකරන දිනයේදී කුමක් කල යුතුද ?
ඔබේ දරුවා අඩු මානසික ආතතියකින් සිටීනම් කාර්යය වඩා පහසුවේ. අවුරුදු 4න් ඉහල ළමුන්ට නිවැරදි තොරතුරු පැවසීමෙන් මනා හික්මීමක් ඇතිවේ. දින කිහිපයකට ප්‍රථම සැත්කම පිළිබඳව ළමයාට සරලව පවසන්න. ළමයා කැමති සෙල්ලම් බඩුවක් රැගෙන ඒමට ඉඩදෙන්න. තරමක් ලොකු ළමුන්ට තමන් කැමති සින්දු ඇසීමට හෝ ගේම් එකක් ක්‍රීඩා කිරීමට ඉඩ සලස්වන්න.
දෙමාපියන් තැති ගැනීමක සිටිනම් ළමයා වඩාත් ආතතියකට පත්වේ. දරුවා නිදි කරවනතුරු දෙමාපියන්ට ද ශල්‍යාගාරයේ සිටිය හැකි අතර එය ළමයාගේ ආතතිය අඩු කිරීමට උපකාරී වේ. එහෙත් ඇතැම් දෙමපියට මෙය දරාගැනීමට අපහසු විය හැක. මව හෝ පියාට පමණක් මෙලෙස ශල්‍යාගාරයේ සිටිය හැකි අතර දෙමාපියන් එසේ සිටීමට අකමැතිනම් බලකිරීමක් සිදුකරනු නොලැබේ.


ඔබේ දරුවා නිර්වින්දනය කරන්නේ කෙසේද ?
කැනූලාවක් (cannula) දරුවාගේ ශිරාවකට ඇතුළු කිරීම සරල කාර්යයක් වුවත් දරුවාට සහ දෙමාපියන්ට ඇති අමිහිරිම තත්ත්වය එයයි. එම නිසා කටු විදින ස්ථාන හිරිවට්ටන ආලේපනය හම මතුපිට ආලේප කළ හැක. එසේත් නැතිනම් නිර්වින්දන වායු පිරවූ  බැලුන් එකක් පිම්බීමෙන් ළමයා නිර්වින්දනය කළ හැක.  මව හෝ පියාට ළමයා සමඟ ළමයාට නින්ද යනතුරු රැඳීසිටීම සුදුසුයි.
මෙම ක්‍රම දෙකම සුදුසු අතර ඇතැම් ළමුන් බැලුන් පිඹීමෙන් නිර්වින්දනය වීමට වැඩි කැමැත්තක් දක්වයි.
සැත්කමෙන් පසු සිහිය නැවත ඒමට කොපමණ කාලයක් යනවාද ?
සැත්කම අවසන් වූ වහාම පියවි සිහිය ලැබෙන අතර සැත්කමට  දිගු වෙලාවක් ගත වුව හොත් නිර්වින්දනයෙන් පසු සුළු වෙලාවකට නිදිමත ගතියක් ඇති වීම සාමාන්‍ය තත්වයකි. උගුරේ අපහසුව, වමනෙට එන ගතිය, හිසේ කැක්කුම වැනි අපහසුතා සඳහා ප්‍රතිකාර දෙනු ලැබේ. පැය කිහිපයක් යනතුරු කැරකිල්ල, නොපැහැදිලි බව ඇතිවිය හැක. දැනට භාවිතා කරන නවීන නිර්වින්දන යන්ත්‍ර මගින් සහ දියුණු නිරීක්ෂණ ක්‍රම මගින් රෝගියාට අවශ්‍යම ඖෂධ මාත්‍රාව ලබා දී නිර්වින්දනය කල හැකි බැවින් මෙවැනි අතුරු අභාධ අඩුය.
වේදනා නාශක ලබා දෙන්නේ කෙසේද ?
පෙති හෝ කරල් ලෙස වේදනා නාශක සාමාන්‍යයෙන් භාවිතා කරයි. නික්ෂේපන ලෙස  වෙනත් වේදනා නාශක අවශ්‍ය නම් එය දරුවාගේ රෝගී තත්ත්වය අනුව  තීරණය කරයි.


නිර්වින්දය මගින් ඇතිවන සංකුලතා මොනවාද ?
පේශි වේදනා,කැනූලා (cannula) ඇතිතැන් වල ඉදිමුම හෝ වේදනාව, උගුරේ වේදනාව, හතිය, දත් වලට හානි වීම ඇතැම් විට ඇතිවිය  හැකියි. ඇතැම් රෝගීන් නිතැතින්ම යම්යම් ආභාධ තත්වයන්ගෙන් යුක්තයි. උදා. හදවත් රෝගීන්, පෙනහළු රෝගීන්, දියවැඩියාව, අධික ස්ථුලතාවය. ඔබේ නිර්වින්දන වෛද්‍යවරයාට කලින් පැවති රෝග තත්වයන්  පිළිබඳව නොසඟවා පවසන්න.


නිර්වින්දන විශේෂඥ්‍ය වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල
පේරාදෙණිය


උපුටා ගැනීමකි.... කර්තෘ වෛද්‍යතුමාට විශේෂ ස්තුතිය හිමි වේ......
පොදු යහපත සඳහා පළ කෙරිණි.

No comments:

Post a Comment