මැලේරියාව




"ආ..සිරිසේන මහත්තයා කාලෙකට පස්සේ මොකද මේ පැත්තේ....?"
"නෑ, doctor..... මමයි නෝනයි මේ සැරේ ඉන්දියාවේ යන්න කියලා."
"ආ...හා.....බොහොම හොඳයි ඒ තීරණය"..
"ඉතින් Doctor... අපි හිතුවේ යන්ඩ කලින් Doctor මුණගැහිලා මොනවහරි බෙහෙතක් ගෙනියන්න ඕනෙද, මොනවද බෙහෙත් බීලා යන්න ඕනෙ කියලා දැනගන්න."
"බොහෝම හොඳයි.... මැලේරියාව වලක්වන බෙහෙත් ගත්තද ඔය දෙන්නම? ඉන්දියාව කියන්නේ මැලේරියා රෝගය තවමත් පවතින රටක්...."
"මැලේරියාව......?දැන් ඒ  ලෙඩේ ලංකාවේ නෑ කියනවනේ මහත්තයා?"
"ඔව්.. සිරිසේන මහත්තයා ලංකාවේ දැන් මැලේරියාව තුරන් කළා කියලා අපිට සහතිකයකුත් හම්බවුණා.... ඒත් මේ රෝගය නැවත ලංකාවේ පැතිරීම වළක්වන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ."

"මැලේරියාව කියන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝගයක්. හරියටම කිව්වොත් ඇනෝපිලිස් (Anopheles sp.) කියන මදුරු විශේෂ වර්ගය හරහා. මැලේරියා පරපෝෂිතයා මදුරුවාගේ ඇඟ ඇතුලේ කාලයක් ගත කරනවා, ඉතිරි කාලය මනුෂ්‍යයකුගේ ඇඟ ඇතුලේ ගත කරනවා. ඒ පරපෝෂිතයා අපේ ඇඟ ඇතුලේ වර්ධනය වෙද්දී තමයි අපිට රෝග ලක්ෂණ ඇතිවන්නේ."

"2012 november මාසෙන් පස්සේ ලංකාව ඇතුලේ මැලේරියා වැළඳුණු රෝගියෙක් හමු වෙලා නැහැ. ඒ නිසා ලෝක සෞඛ්‍ය‍ය සංවිධානය මගින් 2016 වසරේදී අපට මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස සහතිකය හිමිවුණා."
"ඉතින් ඒකනෙ Doctor අපි ඒ ලෙඩේට බයවෙන්න ඕන නෑනේ...?"
"ලංකාව තුල මැලේරියා රෝගය තුරන් කළා තමයි. ඒකට හේතුව මැලේරියා පරපෝෂිතයා ලංකාවේ මදුරුවන් තුළ හමු නොවීම. නමුත් විදේශ සංචාරකයින් හරහා සහ ලාංකිකයන් මැලේරියාව පවතින රටවල් වලට ගමන් කිරීම තුළින් මැලේරියා රෝගය වැළඳුණු පුද්ගලයන් ලංකාවට පැමිණීමේ අවදානමක් කියනවා. එවැනි පුද්ගලයෙක් දෂ්ඨ කිරීම තුළින් මදුරුවන්ට මෙම පරපෝෂිතයා ඇතුල් වීම සහ තවත් අයට බෝවීමට පුළුවන්. එහෙම වුනොත් ආපහු ලංකාව පුරා මැලේරියා රෝගය පැතිරෙන්න පුළුවන්. මොකද, මැලේරියාව වාහක මදුරුවා ලංකාවේ ඉන්නවා."
"ඊට අමතර ව මැලේරියා වාහක Anopheles stephensis කියන අළුත් මදුරු විශේෂය ලංකාවෙන් හමු වෙලා තියෙනවා. මෙයා ඉන්දියාවෙන් ලංකාවට පැතිරුණු විශේෂයක් කියලයි හිතන්නේ. එයා දරුණු මැලේරියා වාහකයෙක්. ඒ නිසා මැලේරියා ආසාදනය වූ  එක පුද්ගලයෙක් නිසා නැවත ලංකාව පුරාම මැලේරියාව ව්‍යාප්තවීමේ අවදානමක් තියෙනවා."
"ඉතිං, Doctor මැලේරියාව කියන්නේ අපි එච්චරම බය වෙන්න ඕනෙ ලෙඩක්ද?"
"හ්ම්..... ඔව් 1934 -1935 කාලෙදි ලංකාවේ මැලේරියාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. අඩුම තරමේ මිලියන පහක තරම් පිරිසකට රෝගය වැළඳුණා. ඒ වගේම එයින් 85000 තරම් පිරිසක් මිය ගියා... අවුරුදු 30ක යුද්දෙන් වත් ලංකාවේ එච්චර පිරිසක් මියගියේ නැහැ. 1964 වෙනකොට මැලේරියාව ලංකාවේ අවුරුද්දකටම වාර්තා වුණේ රෝගීන් දාහත් දෙනෙක් පමණයි. අපි හිතුවා අපිට ඒ කාලෙදිම මැලේරියාව තුරන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් මැලේරියාව නැවත හිස ඔසවලා 1987 වෙනකොට අවුරුද්දට රෝගීන් ලක්ෂ හතරක් පමණ වාර්තා වෙන මට්ටමට එය වර්ධනය වුණා. ඉතින් ඒකයි අපි මේ වෙලාවෙදි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනෑ."
"මැලේරියාව සමකාසන්න රටවලට බලපාන ප්‍රශ්නයක්. අප රට වටේම තියෙන රටවල් වලට එය දැඩි හිසරදයක්. ඒ රටවල් වලින් නැවත මේ රෝගය අපිට එන්න පුලුවන් නිසා අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනෑ."
"මැලේරියාව වැළඳුනොත් ඒවැඩිපුරම බලපාන්නේ ගොවිතැන් කරන තරුණ වයසේ අය සහ වැඩ කරන්න පුළුවන් වයසෙ අය. ඒක රටේ ආර්ථිකයට ලොකු බලපෑමක්. අනික ඒක සංචාරක කර්මාන්තයටත් නරක විදිහට බලපාන්න පුළුවන්."
"ඒ නිසා ලංකාවේ මැලේරියාව නැවත හිස ඔසවන්න ඉඩ නොදීම අපි කාගෙත් වගකීම."
"ඉතින් ඩොක්ටර් අපි මොකද ඒ ගැන කරන්න ඕනේ......?"
"සිරිසේන මහත්තයා ඉන්දියාවේ යන්න කලින් මාව හම්බවෙන්න ආවා නේ.... ඒක තමා පළමු සහ වැදගත්ම පියවර. අපි පිටරටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් වෛද්‍යවරයෙක් මුණගැහිල මොනාද අපි ගත යුතු ප්‍රතිකාර කියලා දැනුවත් වෙන එක වැදගත්."



" මේ විස්තර ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයට කතා කරලා දැන ගන්නත් පුළුවන්. ඊට අමතරව ළඟම රෝහලෙන් හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හරි පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් හරි ලබාගන්න පුළුවන්. ඒ බෙහෙත් විදේශ ගමන යන්න සතියකට කලින් ඉඳල ගිහින් ආවට පස්සෙ සති හතරක් යනතුරු සතියට වතාවක් ගන්න ඕනේ."
"ඒ වගේම ගිහින් ආවට පස්සේ අවුරුද්දක් වගේ යනකල් උනත් හරි ඒ සම්බන්ධ අසනීපයක් හැදුනොත් ප්‍රතිකාර වලට යොමු වීමේදී ඔබ විදේශ රටකට ගිය බව වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමත් ඉතාමත් වැදගත්. මොකද ඒ අසනීප තත්වය මැලේරියාව විය හැකි නිසා."

වැඩි විස්තර....
Anti-Malaria Campaign
Ministry of Health
555/5 Elvitigala Mawatha
Colombo-5
Phone- 011-2588408/2368173/2581918
Fax- 011-2368360
Hotline- 0117 626 626

No comments:

Post a Comment