කිරි ගැන කතාවක්.............




මේ සිදුවීම ගැන කියන්න හිතුනෙ මේ දවස් වල කිරි පිටි ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙන නිසයි. කිරි පිටි වෙළඳාම ලංකාවෙ ඉතා විශාල ලාභ ලබන ව්‍යාපාරයක්. මෑතකදි කොතලාවල ආරක්ශක පීඨයෙ තිබුන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනකට මමත් මගේ මිතුරු වෛද්‍ය චින්තන මහතාත්, වෛද්‍ය ශ්‍යාමා මහත්මියත්, වෛද්‍ය තමරා මහත්මියත් සහභාගී උණා.ගමන අතරමගදි වෙනද වගේම පටන් ගත්ත කතාව දේශීය ආහාර පැත්තට හැරුනෙ වෛද්‍ය චින්තන මහතාත් දේශීය ආහාර, දේශීය සහල් පිළිබඳ විශාල උනන්දුවක් ඇති අයෙක් නිසයි.
"උදේට හොඳ එළකිරි වීදුරුවක් බොන්න පුලුවනි නම් කොච්චර හොඳද?"
"මෙහෙදි නම හොඳ එළකිරි හොයන්න හම්බ වෙන්නෙ නැහැ. හරක් ඇති කරන අය දැන් අඩුයි"
"ඒක තමයි, හරක් ඇති කරන එක පාඩුයි. සතුන්ට කෑම හොයන එක අමාරුයි.තරුණ අය ඒ රස්සාවට කැමති නෑ."
මේ කතාව මෙහෙම යද්දි අපේ රියදුරු මහතාත් කතාවට එකතු උනා. 
"අපේ ගෙදර නම් එළ හරකෙක් ඉන්නවා. කිරිත් ගන්නවා. මහත්තුරුන්ගෙ ගෙවල්වලට දුර වැඩියිනෙ. නැතිනම් මට කිරි බෝතලයක් එවන්න තිබුනා."
"ඉස්සර ලංකාවෙ ගමක හැම ගෙදරකම කිරි හරකෙක්  හිටියා.එයාගෙ කිරි ගෙදරටම සෑහුනා. දැන් ඒ විදිය වෙනස් වෙලා." ඒ චින්තන මහතාගෙ අදහස.

"ඒ විදිය දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ. දැන් තියෙන වැඩත් එක්ක ගෙදරක හරකෙක් ඇති කරන්නෙ කොහොමද? හැබැයි අපේ ඩ්‍රයිවර් මහත්තයගෙ පවුලෙ අය හරි වාසනාවන්තයි.හැමදාම අලුත් කිරි බොන්න පුලුවනිනෙ." මම එහෙම කිව්වෙ අපේ සම්ප්‍රදායන්ට අනුකූලව ජීවත් වෙන පවුල් කීපයක්වත් තියෙනවනෙ කියන සිතුවිල්ලත් එක්කමයි.
"මොන මහත්තය, අපේ කිරි ඔක්කොම කඩේට දෙනව. ගෙදරට බොන්න ගන්නෙ නෑ.ඉඳල හිටල මම කිරි ටිකක් බොනව එච්චරයි." රියදුරු මහත්තය පිලිතුරු දුන්නා.

මේ ප්‍රකාශය අපි හැම දෙනාම පුදුමයට කලා. ඒත් මම හිතුවෙ මේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක තමන්ගෙ ගෙදර තියෙන කිරි ටිකත් බොන්නෙ නැතිව විකුනන්න තරම් මේ අය අසරණ වෙලා කියලයි. ඒ නිසාම "ඇයි ඩ්‍රයිවර් මහත්තය, එච්චරටම ගෙදර සල්ලි ප්‍රශ්නද?"කියල ඇහුවෙ. ඒ ගෙදර අවුරුදු පහක පොඩි පුතෙක් ඉන්න බවත් මම දැනගෙන හිටියා.

  "අනේ නෑ මහත්තය. අපේ ගෙදර අය බොන්නෙ .............කිරි. එළකිරි බොන්න ගෙදර අය කැමති නෑ. ඒකයි එළකිරි විකුනන්නෙ.ඒ සල්ලි වලින් කිරිපිටි ගන්නවා."
මේ සිදුවීම අපි සියලුදෙනාටම පුදුමයක්.නමුත් රියදුරු මහතාත් සමග කතාවෙදි පැහැදිලි උනේ මේ වෙලඳ ප්‍රචාරණ මායාවන්ට ‍රැවටිලා මේ දේවල් කරන බවයි. 
නිතර දෙවේලෙ බොරුවක් ඇහුවත් ටික කලකදි ඒක ඇත්ත වගේ දැනෙනවා. වෙලඳ ප්‍රචාරණයෙදි මේ සිද්ධාන්තය ඉහලින්ම යොදා ගැනෙනවා. ඒ නිසා ලංකාවෙ කිරි වලට වඩා මේ කිරි වර්ග දරුවන්ට හොඳයි කියන දේ අපේ සමාජයට කිඳා බස්සවලයි තියෙන්නෙ.
 නමුත් නිශ්පාදන රටත් එක්ක එළකිරි වල සංයුතියෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. 
කිරි නිශ්පාදනය කරන රට දුර වීමත් සමග කිරි දොවාගත් තැන සිට අපේ ආහාරයට එක් කරගන්නා තෙක් ගතවන කාලය වැඩියි. එමනිසා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතුවීමේ/ එකතු කිරීමේ සම්භාවිතාව ඉතා වැඩියි. 
එමෙන්ම එම ආහාරය අපගේ මේසය මතට පැමිනීමේදී සිදුවන පරිසර හානිය ඉතා වැඩියි(එම ආහාරය ප්‍රවාහනයට, ගබඩා කිරීමට  සිදුවන නිසා). මෙය  ආහාර සැතපුම් (Food Miles) යන සංකල්පයෙන් දැක්වෙනවා. ආහාරයක ආහාර සැතපුම් ගනන වැඩිනම් එම ආහාරය මගින් පරිසරයට සිදුවී ඇති හානියත් වැඩියි.
එම නිසා දේශීයව ලබා ගත හැකි කිරි වර්ගයකට යොමු වීම අපේ ශරීර සෞඛ්‍යටත් රටේ ආර්ථිකයටත් වඩාත් හිතකරයි.

No comments:

Post a Comment