දුම් වැටියෙන් තොර දිවියකට........!!!

සිගරට් දුමෙන් දිවිය දැවී යාමට පෙර ......
දුම්වැටිය මදකට වින්දනීය උවත් (සමහරුනට) එය ඔබගේ දිවිය, සෞඛ්‍ය, පවුල, ආර්ථිකය යන සියල්ලම ටික ටික සොරා ගන්නවා. දුම් බීම සිරුරේ සෑම පද්ධතියකටම අනිසි ලෙස බලපානවා. එමගින් හදවත් රෝග, අංශභාගය, විවිධ පිළිකා, ලිංගික අප්‍රාණිකභාවය, මඳසරු බව, ක්ෂය රෝගය, හතිය, ඇදුම වැනි භයානක රෝග බොහොමයකට මග පාදනවා. 
සිගරට් පානය කරන සෑම දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් අඩු වයසින් මිය යනවා. 
සිගරට් දුමෙහි ඇති විශ රසායන 4000 කින් 43 ක් පමණම පිළිකාකාරක ලෙස සොයා ගෙන තිබෙනවා.


        ඒ විතරද දුම්වැටිය නිසා ඔබගේ ආර්ථිකයට පවුල් දිවියට සිදුවන හානිය. එය පසු කලෙක ඔබේ ජීවිතයට ඉතිරි කරන්නේ පසුතැවිල්ලක් විතරමයි. දුම්වැටිය ඔබ දුප්පත් කරලයි. ඔබේ ජීවිතය ඔබගෙන් උදුරා ගන්නෙ. දුම්වැටියට පුලුස්සන ඔබගේ සල්ලි ඔබේ ආදරණීයයන් සඳහා ඉතිරි කලොත් පසු දිනෙක ඔවුන් සමඟ ජීවිතය විඳින්නට ඔබට මුදලුත් ඔබගේ ජීවිතයත් ඉතිරි වේවි.


සිරිසේනගේ කථාව....
   ශ්වසන රෝග සායනයට පැමිණෙන වයස අවු. 55 ක පමණ රෝගියෙකි. ඔහු පැමිණ සිටියේ අවු. 25 ක දුවක සමගය. ඔහු නිතරම කහිමින් අමාරුවෙන් හුස්ම ගනී. මද වේලාවකින් ඔහු ඉල්ලා සිටියේ කැස්ස වැඩි වන නිසා අසළ ඇති විදුලි පංකාව ක්‍රියා විරහිත කරන ලෙසය. දහවල් එකොලහට පමණ තදබදයත්  සමග දහදිය පෙරමින් සිටි අනෙක් අයට මේ ඉල්ලීම සතු‍ටුදායක දෙයක් වූයේ නැහැ.
 අවසන ඔහු අදාල වෛද්‍යවරයා මුණ ගැසුනා.
  ''සිරිසේන කොහොමද දැන් කැස්ස?''
  ''කිසිම අඩුවක් නැහැ මහත්තය. මම මේ පඩිපෙල නැග්ගෙත් හරි මහන්සියෙන්. රෑට පපුව හිර කරනව වගේ. නින්ද යන්නෙත් නෑ.''
     '' ඒකනේ මහත්තය , තාත්තට හරිම සැර කැස්සක් තියෙනව. රෑට තමයි වැඩි වෙන්නේ. ළමයින්ටවත් නිදා ගන්න බැරි තරම් සද්දෙට කහිනව." දුවත් තමන්ගෙ කරදරේ ඉදිරිපත් කලා.
                           වෛද්‍යවරයා සායන සටහන් පිරික්සා බලා හඬ අවදි කලා. කලින්ට වඩා ටිකක්වත් අඩුවක් නැතිද? බෙහෙත් ටික හරියට ගන්නවද?
                            "මොන අඩුවක්ද මහත්තයා? දැන්නම් ඉස්සරටත් වඩා වැඩියි වගේ."  සිරිසේන තත්වය පැහැදිලි කලා.
බොහෝ රෝගවලට සාර්ථක ප්‍රථිකාර ඇති අද කාලයේ සිරිසේනගේ තත්වය වෛද්‍යවරයාට ප්‍රහේලිකාවක්. රෝගියාගේ පෙනහැලි පරීක්ෂා කල වෛද්‍යවරයාටද වැටහුනේ ඔහු බොරුවක් නොකියනා බවයි. හුස්ම ගන්නා විට පෙනහැලිවල නාදය ඉතාමත් නරක් වූ අතර ඔහුගේ පෙනහැලි වල ක්‍රියාකාරීත්වය ඉතා අවම මට්ටමක පැවතුනා. (පඩිපෙල නැගීමටවත් අපහසු තරම් මහන්සියක් ආවේ ඒ නිසයි.)
      මේ සඳහා හේතුවිය හැකි ක්ෂය රෝගය , පෙනහැලි වල පිළිකා වැනි රෝග සඳහා කල පරීක්ෂණ වාර්ථාද සාමාන්‍ය මට්ටම් වල පැවතුනා.
                       වෛද්‍යවරයා නැවත හඬ අවදි කලා. "සිරිසේන හරි පුදුමයිනේ මේ බෙහෙත් හරියට ගන්නවානම් ටිකක් හරි අඩු වෙන්න ඕනනේ".
                               අනේ මන්ද මහත්තය, මේ තරම් කරුම ලෙඩක්. ඉස්සර මම හොඳට මහන්සිවෙලා වැඩ කලා. මීට වඩා හොඳ බෙහෙතක් නද්ද? මට ලියුමක්වත් දෙනවද මහත්තය , වැලිසරටවත් (ජාතික ශ්වසන රෝග පිළිබඳ රෝහල) පෙන්නන්න. ලෙඩේ සුව නොවන්නේ වෛද්‍යවරයාගේ දැනුම අඩුවක් නිසාවත්ද සිරිපාලට එහෙම හිතෙන්න ඇති.
මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම සුදුසු බව වෛද්‍යවරයාට වැටහුනා. ඒත් තව මොකවත් මගහැරුනාද? වෛද්‍යවරයා එහෙමත් හිතුවා.


ඉතිරිය ඊලඟ ලිපියෙන් පවසන්නම්.....

2 comments:

  1. හොඳ ලිපියක්.. දිගටම ලියන්න..

    P.S. Can you please remove word verification. Then it is easy to comment.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී!!! මම word veryfication ඉවත් කරන්න දැනගෙන හිටියෙ නෑ.දැනුයි එය ඉවත් කලේ.

      Delete