දිවේ පැල්ලමක්

"අනේ මහත්තයා, පුතාගෙ දිවේ තුවාල වගේ පැල්ලමක් හැදිල. දැන් කන්නෙත් නැහැ."
"ම්.....කෝ බලමු කොච්චර කල්ද
"
"දැන් සතියක් විතර වගේ, ලොකු අසනීපයක්ද මන්ද."
"අපි බලමුකෝ...එයා  කෑම කනකොට අඬනවද?උණ තිබුනද?"
"නෑ මහත්තය වෙන අසනීපයක් තේරෙන්නෙ නැහැ.දිවේ කැලැල් වගේ තියෙනව.රිදෙන බවක් තේරෙන්නෙ නැහැ.තුවාල වගෙ නෙමෙයි.පාට වෙනස්කමක් විතරයි තියෙන්නෙ.නිකං හම ගිය කොටසක් වගෙ තියෙන්නෙ."
"කෝ බලමු....ම්ම්....පුතා කට අරින්නකෝ..."
"මේ රෝස පාට හොඳට වෙන්වෙලා සිතියම් ඇන්ද වගේ තියෙන ඒව නේද අම්ම?"
"ඔව්, ලොකු අසනීපයක්ද මහත්තය....?"
"නැහැ, මේක නම් සාමාන්‍ය තත්වයක්.මේකට ඉංග්‍රීසියෙන් geographic tongue කියල කියවා, මොකද ඒක පේන්නෙ දිවේ සිතියමක් ඇන්ද වගේ නිසා"
"එහෙම ආවෙ ඇයි මහත්තය. මම සැර කෑමක්වත් දුන්නෙ නැහැනෙ."
"මෙහෙම එන්නෙ ඇයි කියල තවම හරියට හොයාගෙන නැහැ.සාමාන්‍යයෙන් 100 දෙනෙක් ගත්තොත් දෙතුන් දෙනෙකුට මේ තත්වය ඇතිවෙන්න පුලුවනි.ගොඩක් වෙලාවට වැඩිහිටියන්ගෙ මේ තත්වය බහුලයි.ජානමය සම්බන්ධකමක් ඇති කියල හිතනව."
"ඒත් මහත්තය කලින් මෙහෙම තිබුනෙ නැහැනෙ."
"ඔව්, මේ වෙනස සමහර කාලවල පේන්න තියෙනව.සමහර කාලවලදි ඇත්තෙම නැහැ."
"එතකොට මහත්තය පුතා කන්නෙ නැත්තෙ?"
"ඒ නම් දිවේ ප්‍රශ්නෙ නිසා නෙවෙයි.මොකද ඒක බොහෝ විට රිදෙන්නෙවත්, රස දැනීමටවත් බලපාන්නෙ නැති දෙයක් නිසා.කලාතුරකින් ඒ තැන්වල දැවිල්ලක් වගෙ දැනෙන්න පුලුවනි.ඒත් කෑම කන වෙලාවල්වලට.ඒ නිසා ගොඩක් මිරිස් තුන පහ ගොඩක් වැඩි කෑම දරුවට දෙන්න එපා. කෝකටත් බබාගෙ බර සටහන දෙන්න බලන්න."
"අනේ මහත්තය බුදු සරණින් පුතාගෙ බරේ නම් අඩුවක් නැහැ."
"කෝ බලමු.ම්ම්....මේ වර්ධන සටහන අනුව නම් දරුවගේ බර දිගටම හොඳයි.දරුවට අසනනීපයක් නැතිනම් එයා තමන්ට ගැලපෙන තරමට කනව.ඒත් ඉතින් අම්මලට දරුවො කොච්චර කෑවත් මදිනෙ.නේද?"
"අනේ මන්ද මහත්තය.මම හිතුවෙ දිවේ අසනීපයක් කියලයි.දිව මදින්න හරි ගාන්න හරි බෙහෙතක් ගන්නයි ආවෙ."
"මේකටනම් බෙහෙතක් ඕනෙ නැහැ.ඒක අසනීපයක් නෙවෙයි."
"එහෙනම් ගොඩක් ස්තූතියි මහත්තය.මම බයේ හිටියෙ.ලොකු අසනීපයක්ද කියල"