අත් බෙහෙත්......

    නිමාලි කියන්නෙ අවුරුදු 20 ක තරුණ ගෑණු ලමයෙක්. අයියගෙ විවාහ මංගල්‍ය උත්සවය ලඟ එන නිසා ඇයත් මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.ඒ අතරෙ උත්සවයට අඳින්න හොඳ අඳුමකුත් ගන්න ඕනෙ.යාලුවොනම් කිව්වෙ කර ටිකක් Open කරපු සාරියක් ඇන්දොත් ඇය ලස්සනට හිටීවි කියලයි.රෝස පාට ඒ වගෙ සාරියක් ගේන ඇයත් හිත හිත හිටියෙ.කොහොමත් සල්ලි අයියගෙන් ගන්න  පුළුවන්නෙ.
 ඒත් පොඩි ප්‍රශ්නයක්. නිමාලිගෙ පිටේ ටිකක් ලොකු අළුහම් ලපයක් තියෙනවා. සාරිය ඇන්දොත් ඒක කැතට පෙනෙනවා. ඉතින් මොකද කරන්නෙ. එතනදිත් නිමාලිගෙ උදව්වට ආවෙ යාලුවෙක්මයි. එයා කිව්ව ඔය ප්‍රශ්නෙට පිළියමක්. "කලු අල"  කියන අල වර්ගය දෙහි ඇඹුලෙන් උරච්චි කරල පිටේ ගාන්න.පැය දොලහක් එහෙම තියෙන්න ඇරල උණුවතුරෙන් සෝදල දාන්න. පිළියම යාලුවගෙ වචනෙන්ම කිව්වෙ ඒ විදියට. යාලුවගෙ පුංචි අම්මගෙ පුතා ආයුර්වේද වෛද්‍යවරයෙක් නිසා මේක හරියයි කියල නිමාලිත් හිතුවා.
නිමාලි ඒ කිව්ව විදියටම ප්‍රථිකාරය කලේ ඉක්මනින්ම සුවයක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. ටික වේලාවකින් ඒ පැත්තෙ  දැවිල්ලක් දැනුනත් ඇය සිතුවෙ ඒක සාමාන්‍යයි  කියලයි.ඒත් පහුවෙනිදා බලනකොට බෙහෙත ගාපු පැත්ත හොඳටම රතුවෙලා කසන්නත් පටන්ගත්තා..පොඩි බිබිලි ඇවිල්ලා තුවාල මතු උණා. අය්යගෙ wedding එකට ලස්සන ඇඳුමක් අඳින්න හිටය නිමාලිට සාමාන්‍ය ඇඳුමක්වත් අඳින්න අමාරු තරම් තුවාලයක් හදාගන්න උනේ වැඩිදුර නොහිතා කටයුතු කල නිසයි.


    මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවෙනවා.වැඩිදුර නොසිතා මෙවැනි ආලේපන, බෙහෙත් භාවිතය නිසා ජීවිතය උවත් අහිමිව යාමේ අවධානමක් තිබෙනවා.

එමනිසා,.........

  • කිසිමවිටක සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ (ආයුර්වේද හෝ බටහිර) නියමයකින් තොරව හිතුමතේ ප්‍රථිකාර ගන්න එපා.
  • එමෙන්ම ඔබ නොදන්නා බෙහෙතක් ගැන අන් අයට අවවාද දෙන්නත් එපා.
  • ඔබට යම් බෙහෙතකට/ ආහාරයකට ආසාත්මිකතාවක් තිබෙනවානම් හෝ පීනස, හතිය වැනි රෝගවලින් පෙලෙයි නම් හෝ ඒ පිලිබඳව වෛද්‍යවරයා දනුවත් කරන්න. 
  • බෙහෙත් නොවන ආලේපන (රූපලාවන්‍ය කටයුතු වලට භාවිතා වන  ආලේපන, ඩයි වර්ග) පාවිච්චියට පෙර සුලු ප්‍රමාණයක් සිරුරේ යම් තැනක - කණ පිටිපස වැනි- ආලේපකර පැය 24ක් බලන්න. එතන දැවිල්ලක්, රතුවීමක් හෝ යම් වෙනසක් ඇතිනම් එය භාවිතා කරන්න එපා.

  • බෙහෙත් හෝ ඉහත සඳහන් ආලේපන වර්ග පාවිච්චි කරන විට සමේ දැවිල්ලක්, වේදනාවක්, රතුවීමක් හෝ සැක සහිත වෙනසක් සිදුවුවොත් එය නවතා වෛද්‍යවරයෙක් මුන ගැසෙන්න.
  • ආලේපන භාවිතයේදී ලේබලයේ අඩංගු දෑ පිළිබඳ සැලකිලිමත් වන්න.ඔබට ආසාත්මික වන දෙයක් එහි ඇතිනම් එය භාවිතා කරන්න එපා.


  •  "ස්වාභාවික"/ "ආයුර්වේද"/ "වෛද්‍ය විද්‍යාත්මකව නිපදවනලද/තහවුරුකල" වැනි වචනවලින් විස්තර කරල තිබුනත් එය ආරාක්ෂාකාරී යැයි සිතන්න එපා. බොහෝවිට මේවා ප්‍රචාරණ ප්‍රයෝග පමණයි.